ඇමැති පුතුන් සහ උසස් පොලිස් නිලධාරින්ගේ පුතුන් වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ වෙළඳ මධ්‍යස්ථානයක් තුළදී තරුණයන් දෙදෙනකුට පහර දී පොලිස් නිලධාරින් සහ එහි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් හයදෙනකු අත්අඩංගුවට ගත් බව  කොඤ්ඤවීදිය පොලිසිය කියයි. මෙම හය දෙනා අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බව කියති.  සැකකරුවන් සහ සැකකාරියන් එහි මත්පැන් පානය කර  තවත් තරුණ පිරිසක් සමග ගැටුම් ඇති කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.



අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇමැතිවරුන්ගේ හෝ පොලිස් නිලධාරින්ගේ පුතුන් නොසිටි බවත් ඔවුන් ව්‍යාජ එලෙස පෙනී සිට ඇති බවද පොලිසිය කියයි. මෙම තරුණ පිරිස සමග සිට අත්අඩංගුවට ගත් එක්

කාන්තාවක අවුරුදු 50ක් පමණ වයසැති මැදිවියේ  තැනැත්තියක බවත් ඇය රජයේ සන්නිවේදන සමාගමක  නිලධාරිනියක් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. එම කාන්තාව ඇයගේ 22 හැවිරිදි පෙම්වතා සමග සාදයට පැමිණ සිටි බවද පොලිසිය සඳහන් කරයි. මෙම  සෙසු පිරිස අතර විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදියකු හා ඔහුගේ බිරිඳ ද සිටි බව පොලිසිය කියයි.  සැකකාර තරුණයන් සිව්දෙනා කාන්තාවන් දෙදෙනා සමග ඉකුත් සිකුරාදා (12) රාත්‍රියේ මෙම වෙළෙඳ මධ්‍යස්ථානයට ගොස් මත්පැන් සාදයක් පවත්වා ඇති බවත්, පසුව ඔවුන් එහි සිටි වෙනත් පාර්ශ්වයක් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙන බවත් පොලිසිය පවසයි.


සැකකරුවන් පිරිස එහි සිටි තරුණයකුට අමානුෂික ලෙස පහර දී ඇති බවත්,


පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයන් රෝහල් ගත කිරීමට එහි ආරක්ෂක අංශය වෙත ඉඩ ලබා දී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.  පසුව පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ගුණසේකර මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස්  තුවාලකරු රෝහල් ගත කිරීම සඳහා 1919 හදිසි ගිලන් රථ

සේවය ගෙන්වා ඇති බවත්, බීමතින් සිටි සැකකරුවන් හා සැකකාරියන් පොලිස් නිලධාරින්ට සහ ආරක්ෂක අංශ නිලධාරින්ටද පරුෂ වචනයෙන් බැන වැදී තරුණයන් රෝහල් ගත කිරීම වළක්වා ඇති බවත් කියති. 


පැයකට ආසන්න කාලයක් සැකකරුවන් බාරයේ සිටි තුවාලකරුවන් පොලිසිය පසුව මහත් පරිශ්‍රමයක් යොදා බේරාගෙන කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි. සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ තරුණයා තවමත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.


  -ඉන්දිකා රාමනායක-