gdl perera

චිත්‍රපට ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු මෙන්ම නාටක රචකයකු වූ පී. ඩී.එල්. පෙරේරා මහතා එංගලන්තයේදී ඊයේ (14) අභාවප්‍රාප්ත විය.මිය යනවිට 85 වැනි වියේ පසු වූ ඒ මහතා දහසක් 'සිතුවිලි', 'සාමා', "රෝමියෝ ජුලියට් කතාවක්", "හොරා පොලිස්", "ඉගිලෙන කුරුල්ලෝ " හා දුර ගිය ගමනක් යන සිංහල චිත්‍රපට ද Petter of the Elephants (1980) හා  Winners And LOSERS (1986) යන ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා වූයේය.



ඔහු 1966 වර්ෂයේදී පැවැති තුන්වැනි සරසවි සම්මාන උළෙලේදී සිය 'සාමා' චිත්‍රපටය වෙනුවෙන් විශේෂ සම්මානයක් ද 1969 වර්ෂයේදී පැවැති හයවැනි සරසවි සම්මාන උළෙලේදී ඔහුගේ දහසක් සිතුවිලි චිත්‍රපටය වෙනුවෙන් හොඳම චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර පිටපත් රචකකුට හිමි සම්මානය ද දිනා ගත්තේත්ය.කලා ක්ෂේත්‍රයට 1965 වර්ෂයේදී එක්වි ඇති පී.ඩී.එල්. පෙරේරා මහතා 1970 වර්ෂයේදී ලන්ඩනයට ගොස් එහිදී සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් පුළුල්ව හැදෑරීය.පසු කලෙක නැවතත් ලංකාවට පැමිණි ඔහු මහනුවර මැද දුම්බර හතරලියද්ද ප්‍රදේශයේ සිනමා හා රූපවාහිනී අභ්‍යාස ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුන් පිරිසක් සමග එක් වී ටෙලිනාට්‍යයක්ද නිෂ්පාදනය කළේය.


පසුව කලාපෙළ නමින් පාඨමාලාවක් අරඹා සිනමා ක්ෂේත්‍රයට විශිෂ්ට කැමරා ශීල්පීන් හා සංස්කරණ ශිල්පීන් රැසක්ද හඳුන්වා දුන්නේය.රත්නපුර තිරුවානකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ පී.ඩී.එල්. පෙරේරා මහතා රත්නපුර තිරුවානකැටිය මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයටද ඉන් අනතුරුව කොටහේ කුමාර විද්‍යාලයට ඇතුළත් විය.ඔහු කලාවට පිවිසෙන්ද කුමාර විද්‍යාලයෙනි. පී.ඩි.එල්. පෙරේරා මහතා එක් දියණියකගේ පියෙකි.

(සමන්ත යහම්පත්)