
කොළඹ, තුම්මුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයක් රැකියා ලබාදෙන බව පවසමින් 141දෙනකුගෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් වංචා කර ඇති බවට කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි ලැබී ඇත. පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් එම ආයතනය පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති අතර රුපියල් ලක්ෂ 15-20 ආදී වශයෙන් එම මුදල් ලබාගත්ත ද කිසිදු පුද්ගලයකුට රැකියා ලබාදී නැතැයිද ඔවුන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
මුදල් ලබාගත් පුද්ගලයන්ගෙන් පිරිසක් ඉන්දුනීසියාවට යවා එහි අතරමං කර තිබූ බවද පසුව ඔවුන් නිවෙස්ලින් මුදල් ගෙන්වාගෙන නැවත දිවයිනට පැමිණ ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.මෙම ආයතනය කාන්තාවක විසින පවත්වාගෙන ගොස් ඇති අතර ඇයගේ නැගණිය සහ මස්සිනා කෙනකු සමග එක්ව මෙම වංචාව සිදුකර ඇතැයි මේ වන විට ඔවුන් පොලිසිය මග හරිමින් සිටින බවද පැමිණිලිකරුවෝ කියති.මේ වන විට එම ආයතනය වසා දමා තිබෙන අතර පසුව ඔවුන් වෙනත් නමකින් නුගේගොඩ ප්‍රදේශයේ මෙම ආයතනය ආරම්භ කර තවත් පුද්ගලයන් පිරිසකගෙන් එලෙසම මුදල් වංචාකර තිබෙන බවට ද තොරතුරු හෙළි වී තිබේ.
(රංජන් කස්තුරි)
Comments
Post a Comment
Your comment will be visible after approval