ol-nawagamuwa

මාර්තු මස 01 දා සිට පැවැත්වීමට නියමිත අ.පො.ස. සාපෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සහ නිවෙස්ගත නිරෝධායනයට යොමු කරනු ලබන රෝගී ආශ්‍රිතයන් අතරින් හදිසියේ කොවිඩ් ආසාදිත තත්වයට පත් වූ සිසුවකු මතු වුවහොත් එවැනි රෝගී සිසුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවට සහයෝගයක් ලෙස නවගමුව රෝහල වෙන් කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතා ඊයේ (22) පැවසීය.



 මෙම කොරෝනා මර්දන කමිටු රැස්වීමක් කොළඹ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවැත්විණි.එහිදී ගැනුණු තීන්දු තීරණ පිළිබඳව දිසාපතිවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු එසේ කීය."ආසාදිත තත්ත්වයට පත්වන එවැනි සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට අනුව පහසුකම් අවශ්‍ය වුවහොත් රෝහල තුළදී එම පහසුකම් සැපයීමට ද බලාපොරොත්තු වන බව "ඒ මහතා පැවසීය.

එහිදී එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදිය යුතු ප්‍රමුඛතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව ද සඳහන් කළ දිසාපතිවරයා ඒ යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරින් සහ නිරෝධායනය වන නිවෙස් හා සම්බන්ධ වෙමින් බඩු භාණ්ඩ බෙදා දෙන සේවක කණ්ඩායම් වෙත කොරෝනා එන්නත ලබාදීමේ ප්‍රමුඛතාව ලබාදීම පිළිබඳව ද අවධානය යොමුකළ බව කීය.

 (මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා)