matale-incident

තම බිරිය අනියම් සැමියා සමඟ රාත්‍රි කාලයේ අඹු සැමියන් ලෙස හැසිරෙමින් පෙම් සුව විඳින අයුරු
දැක කෝපයට පත්ව සිය බිරියට සිවු වතාවක් පොරොවකින් කොටා ඇය ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව
මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනාවකට වරද පිළිගත්
විත්තිකාර සැමියාට  මාතලේ පළාත්බද මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සහ මධ්‍යම පළාත්බද සිවිල්
අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා වසර හතරක බරපතළ වැඩ
සහිත සිර දඬුවමක් නියම කළේය. 



ඊට අමතරව මුදලින් රුපියල් දස දහසක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරු  ප්‍රේමචන්ද්‍ර මහතා එම
දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසරක ලිහිල් සිර දඬුවමක් නියම කරනු ලැබීය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ මාතලේ, ලෙන‍ෙදාර ඉහළ ගල්අංගගෙදර රාජා කුලතුංග නමැති 50
හැවිරිදි පුද්ගලයකුටය. 2014 නොවැම්බර් මස 2 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මාතලේ මහාධිකරණ
බල ප්‍රදේශයට අයත් දෙන‍ෙදාර පනම්පිටියේදී 43 හැවිරිදි ආර්.එම්. ධම්මිකා රත්නායක නමැති සිය
බිරිය පොරොවකින් කොටා ඝාතනය කළ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතලේ
මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය අමතමින් කියා සිටියේ විත්තිකරුට එරෙහිව
නීතිපතිවරයා නඟා තිබූ මනුෂ්‍ය ඝාතන වරදට විසි වසරක් දක්වා පවා බරපතළ වැඩ සහිත සිර දඬුවම්
නියම කිරීමට මහාධිකරණයට බලය දී ඇති බවයි.

එහෙත් නඩු විභාගය අතරතුර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 297 වැනි වගන්තිය යටතේ සාවද්‍ය නොවන
මනුෂ්‍ය ඝාතනයකට විත්තිකරු වරද පිළිගැනීමත් බරපතළවූත් හදිසිවූත් ප්‍රකෝප කිරීම මත ආත්මය දමනය කර
ගැනීමට නොහැකිව විත්තිකරු මෙම ඝාතනය සිදුකර ඇති නිසාත් ඔහුට මෙලෙස සිවුවසරක බරපතළ වැඩ සහිත
සිර දඬුවමක් පමණක් නියම කිරීමට තමා නියෝග කරන බවද විනිසුරුවරයා කීය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස