maithripala sarath n silva

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නම් නීතිපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.කොමිෂන් සභාවක සාක්ෂි අනුව හෝ නිර්දේශ අනුව අධිචෝදනා ගොනුකළ නොහැකි බවද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය.



ස්තානාධිපතිවරයෙකුට මුක්තිය හිමිවන්නේ ජනාධිපති ධූරය දරන කාලසීමාවේදී පමණක් වන අතර, ධූරයෙන් ඉවත් වූ පසුව ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි බව ද හිටපු අගවිනිසුරුවරයා පැවසීය.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතාට අපරාධ චෝදනා යටත්තේ නඩු පැවරීම සලකා බලන ලෙස සිදුකර ඇති නිර්දේශය සම්බන්ධයෙන්  කළ විමසීමේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් කොමිෂන් සභාවක සාක්ෂි අනුව හෝ නිර්දේශ අනුව අධිචෝදනා ගොනුකළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇති බවත් සරත් එන්. සිල්වා මහතා පැවසීය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා,"ජනාධිපතිවරයෙකුට මුක්තිය හිමිවෙන්නේ ජනාධිපති ධුරය දරන තාක්කල් පමණයි. ඊට පසුව ඒ කරුණක් සම්බන්ධයෙන් නඩු ක්‍රියාමාර්ගයක් ගත හැකියි.

සිවිල් හෝ අපරාධ වේවා ඕනෑම නඩු ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. මුක්තිය බලපාන්නේ ධූරය දරන කාලසීමාවේදී පමණයි. ඒ මුක්තිය උසාවියට ගෙන ඒමේ මුක්තියක් පමණයි.අපරාධයෙන් මුක්තියක් ලබන්නේ නැහැ. ධූරය දරන කාලයේදී උසාවියට ගෙන එන්න බැරිකම පමණයි තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කියලා අපේ නීතියේ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් පාස්කු කොමිෂන් සභාව සඳහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට යොමුකර දණ්ඩනීති සංග්‍රහයේ අදාළ වගතියක් යටතේ චෝදනා ගොනු කරන්න පුළුවන්ද කියා සලකා බලන්න කියා පමණයි. අනිත් එක, ඒක නිර්දේශයක් පමණයි. කොහොම වුණත් මේ කොමිසම පත් කළෙත්  මෛත්‍රීපාල සිරිසේන මහත්තයාමයි. සාමාන්‍යයෙන් කොමිසමක් පත්කරන්නේ කරුණු හොයාගන්න."

(චාමර සම්පත්)