jayasuriya-covid19

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විසින් පසුගිය 18 දින COVID19 එන්නත ලබාගෙන තිබීම හා එය ප්‍රසිද්ධියට පත් කිරීම සමාජ මාධ්‍ය තුළ විවේචනයට මාතෘකාවක් වී තිබේ.


එන්නත ලබන්නන් තෝරා ගන්නා නිර්ණායක පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න කර තිබේ. පසුගිය සතිය මුලදී රජය විසින් මහජනතාව සඳහා එන්නත් කිරීමේ වැඩසටහන දියත් කළ විට සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, වැඩිහිටි පුද්ගලයින් සහ මහජනතාව සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන අයට ප්‍රමුඛතාවය ලබා දෙන බව වන නමුත් එම ප්‍රමුඛතාව ලැබෙන පිළිවෙල දැන් ගැටලු කාරී වී ඇත.
විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසූරිය  කිසිදු ප්‍රමුඛ කාණ්ඩයකට අයත් නොවීම නිසා මෙම ගැටලුව මතුවිය.
“එන්නත් කිරීමේ වැඩසටහන දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති‘ බවට සමාජ මාධ්‍ය තුළ විවේචන මතුව ඇත.


Facebook හා Twitter පරිශීලකයින්  ප්‍රශ්න කර ඇත්තේ සනත් ජයසූරිය හට කොවිඩ් වැක්සීනය ලබාදුන්නේ කවර පදනමක් යටතේද යන්නයි.

ඇතැමෙක් එහිදී සදහන් කර ඇත්තේ පළමු කොවිඩ් රැල්ල හේතුවෙන් ගුවන්තොටුපල වසාදමා තිබියදී ආණ්ඩුවේ ඉහළ සබදතා ඇති පුද්ගලයන් කෙසේ හෝ මෙරටට පැමිණි ආකාරයට මේවාද සිදුව ඇති බවයි.

කොවිඩ් වැක්සීනය ඉන්දියාවෙන් නොමිලයේ ලැබුණ පරිත්‍යාගයක් වීම තුළ එම පරිත්‍යාගය අනිසි භාවිතයේ යෙදවීමක් ලෙසද ඇතැමුන් හඳුන්වා දී තිබේ.