full face helmat - court

සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය වන අන්දමට ආරක්ෂිත හිස් වැසුම් (ෆුල් ෆේස්) පලදින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා  දී ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (16දා) අනාවරණය විය.  සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන අන්දමට ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට  එරෙහිව නීතිමය පියවර ගන්නා  ලෙස නියම කරමින් ඉදිරිපත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් යතුරුපැදිකරුවෙකු ඉදිරිපත් කළ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී  සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා මේ බව අනාවරණය කළේය.



වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නමැති යතුරුපැදිකරුවෙකු රිට් ආඥාවක් ඉල්ලා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා නම් කොට තිබිණි.  සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.  ඒහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාලින්ද රණසිංහ මහතා කරුණු දක්වමින් සම්පුර්ණ මුහුණු  ආවරණය කළ හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි පැවසීය.

එමෙන්ම මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය පොලීසිය විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දී ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. පෙත්සම්කාර නාමල් ප්‍රසංග නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදූවගේ මහතා කරුණු  ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ උපදෙස් සම්බන්ධයෙන් තම  සේවාදායකයා සෑහීමකට පත්වන බවත්, ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කරගැනීමට තම සේවාදායකයා කැමති බවත් දැනුම් දුන්නේය.



නාමල් ප්‍රසංග නමැති යතුරුපැදිකාර පෙත්සම්කරු, තමන් සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැලඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය තමාට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.  2017 අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි පනත නිසි පරිදි  පාර්ලිමේන්තුව මගින් අනුමත කර  නොමැති බවත්, එය නීතියට පටහැණි බවත් සඳහන් කරන පෙත්සම්කරු එසේ තිබියදී තමාට එරෙහිව පොලීසිය නඩුවක් පවරා ඇති බවත් සඳහන් කොට තිබිණි.


පාර්ලිමේන්තුවෙන් සම්මත කොට  නොමැති පනතක් යටතේ තමාට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැණි බව සඳහන් කරමින් පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.  ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය.


 -බුද්ධිමාල් රුබේරු-