development-Samurdhi

දිළිඳු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් සමෘද්ධි ව්‍යාපාරය මේ වනවිට ඈත්වී ඇති බැවින් සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ ප්‍රතිඵලය මේ දක්වා ලබා ගැනීමට හැකිවී නොමැති බව ජීවනෝපාය අනු කමිටුවෙහි සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

තම වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට නොහැකි නම් එම සමෘද්ධි නිලධාරීන් පිළිබඳව තීරණයක් ගත යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පෙරේදා (17)දා මෙම කමිටුව රැස් වූ අවස්ථාවේදීය.සමෘද්ධි ව්‍යාපාරය දිගින් දිගටම සමෘද්ධි සහනාධාර ලබා දෙමින් එම වැඩසටහන ආරම්භ කළ මුඛ්‍ය පරමාර්ථය වන දිළිඳු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණෙන් මේ වනවිට ඈත් වී ඇති බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළ අතර, එම නිසා සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අවසාන ප්‍රතිඵලය මේ දක්වා සමෘද්ධි ව්‍යාපාරයට ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන්නේය.

තමන්ගේ වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට නොහැකි නම් එම සමෘද්ධි නිලධාරීන් පිළිබඳව තීරණයක් ගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය. පොහොසත් පුද්ගලයන්ද සමෘද්ධි දීමනා ලබන බවට පැමිණිලි ලැබෙන බැවින් වර්තමාන සමෘද්ධිලාභීන් පිළිබඳ විගණනයක් කළ යුතු බවට මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍යවරු එහිදී ප්‍රකාශ කළහ. සමෘද්ධි හා දිළිඳු පවුල් ලක්ෂ දෙකක් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 10,000ක් වෙන්කර ඇති බැවින් ඉතාම කඩිනමින් අය වැයෙන් යෝජනා කර ඇති වැඩසටහන ආරම්භ කරන ලෙස මෙහිදී මෙම කමිටුව සමෘද්ධි නිලධාරින්ට දැවීය.බතික් කර්මාන්තය පිළිබඳව මෙහිදි සාකච්ඡා වූ අතර බතිත් ඇදුම්වල මිල ඉහළ බව මෙහිදී අවධානයට ලක්විය.



එහිදී අමාත්‍යංශයේ ලේකම්වරිය පෙන්වා දුන්නේ බතික් සඳහා යොදා ගන්නා තීන්ත ලංකාවට ගෙන්වීමේ ඒකාධිකාරයක් පවතින බවත්, එම නිසා මේ වන විට සළුසල මගින් එම තීන්ත ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්ය. එසේම අත් යන්ත්‍ර, පේෂකර්මාන්ත හා බතික් මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළ ප්‍රාදේශීය කටයුතු කිරීමේදී ඒ පිළිබඳ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සමගද සාකච්ඡා කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ජාතික සම්බන්ධීකරණ ජීවනෝපාය අනුකමිටුව එහි සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් බත්තරමුල්ල මග නැගුම මහ මැදුර ශ්‍රවණාගාරයේදී පෙරේදා (17) පළමුවරට රැස් විය. නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු සහ අජිත් නිවාඩ් කබ්රාල්. ඩී.වී. චානක, සීතා අරඹේපොළ, යන රාජ්‍ය අමාත්‍යවරුද මෙම අවස්ථාවට එක් වූහ.රටේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා 2021 අයවැය යෝජනාවලින් ඉදිරිපත් කර නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඒ ඒ වැඩසටහන් සැලසුම් කර එම අමාත්‍යාංශ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කර ඒවා සාර්ථකත්වයට පත් කිරීම සහ ගම සමග පිළිසදරක් ජනාධිපති තුමාගේ වැඩසටහනේදී ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ගැටලුවලට විසඳුම් ලබාදීමත් මෙම අනුකමිටුවේ ප්‍රධාන කාර්යභාරය බව මෙහි දී නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී සමෘද්ධි,මුදල්, විදේශ රැකියා ප්‍රවර්ධන, කාන්තා හා ළමා සංවර්ධන සංවර්ධන, නිපුණතා සංවර්ධන මිරිදිය මත්ස්‍ය සංවර්ධන, බතික් අත් යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන, වේවැල් පිත්තල මැටි හා ලී බඩු ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂයන් ඔස්සේ මේ රටේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි.මීළඟ කමිටු රැස්වීම මාර්තු මස 17 බදාදා රැස්වීමට නියමිතය.

 (චාමර සම්පත්)