crudia-zeylanica-sri-lanka-dewani

 ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකම කෘෘඩියා සිලනිකා ශාකය සංරක්ෂණය කර ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එම ශාකය රනිල කුලයේ ශාකයක් වන අතර නයිට්‍රජන් එකතු කිරීමේ ඇති හැකියාව හැරුණු විට විශේෂත්වයක් නැතැයි ද ගම්වල එය භාවිත කර ඇත්තේ දරට පමණක් යැයි ද ජාතික උද්භිද  අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී. ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවැසුවාය.   

සාමාන්‍යයෙන් මෙම ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන රාශියකින්ම සොයාගෙන ඇති බවත් පහත්බිම්වල එය වැවෙන බවත් කී ඇය ගම්පහ උද්භිද උද්‍යානයේ වැඩුණු ගස් තුනක් ඇතැයි ද කීවාය.


එහි ඇට එකතු කර පැළ කර ඇතැයි ද  පේරාදෙණිය හා ගම්පහ උද්භිද උද්‍යානවල එම පැළ රාශියක් ඇතැයි ද ඇය කීවාය.   මෙය ඒකදේශීය ශාකයක් බව සැබෑ නමුත් එය වඳවීමේ තර්ජනයක් නැතැයි ද ක්‍රිෂ්ණරාජා  මහත්මිය පැවැසුවාය. 

මෙම ශාකය ගලවා ගුවනින් ගෙන ගොස් මුතුරාජවෙල සිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මැල්වත්ත සහ සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතාගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ දැන් එය සඟසතු කර ඇති බැවින් එම අදහස අත් හළ බවය. කිසිසේත්ම එය සංරක්ෂණය කිරිමට තම සමාගම දැන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම කියා සිටියේය.


පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා කියා සිටියේ එම ගස පෞද්ගලික සමාගමකට රෝපණය සඳහා රජය අවසර දුනහොත් තමන් නඩු මගට බසින්නට සූදානම් බවය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව කිසිදු තැනැත්තකුට ආරක්ෂිත පැලෑටියක් ඉවත් කිරිම ඉදිකිරිම හෝ විනාශ කිරිමට අවසර නැති බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

 -විනීතා එම්. ගමගේ-