chandima jeewandara

බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් අසූ දෙකකට ව්‍යාප්ත වී ඇති B.1.1.7. නව කොරෝනා වයිරස ප්‍රභේදය
මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගනු ලැබුවේ ඉකුත් ජනවාරි මුල් සතියේ හා පෙබරවාරි අතර කාලයේදී
ආසාදිත වූවන්ගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂණවලින් යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය
පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර
මහතා  පැවැසීය.



ශීඝ්‍රයෙන් පැතිර යන මෙම B.1.1.7. නව වයිරසය ශරීරගත වූ පුද්ගලයන් දහසය දෙනෙක් මේ වනවිට
මෙරටින් හමුවී ඇති අතර ඉන් දහතුන් දෙනෙක්ම පිටරටවල සිට මෙරටට පැමිණි ශ්‍රී  ලාංකිකයෝ වෙති.
සෙසු තිදෙනා පළමු ආශ්‍රිතයන් වන ශ්‍රී  ලාංකිකයන් යැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මොවුන් කොළඹ, අවිස්සාවේල්ල, ඉංගිරිය, බියගම, වත්තල, මතුගම, මන්නාරම හා වවුනියාව ඇතුළු
නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇත.

නිරෝධායන මධ්‍යස්ථානවලින් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සිටි ආසාදිතයන්ගෙන් මෙම ජෛව
සාම්පල ලබාගෙන තිබිණි.



බි්‍රතාන්‍යයේ පැතිරීම ආරම්භ වූ මෙම B.1.1.7. නව කොරෝනා වයිරස ප්‍රභේදය රට තුළ
කොතරම්දුරට පැතිර ඇද්දැයි කිව නොහැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මේ වනවිට ආසියානු රටවලද මෙම නව කොරෝනා ප්‍රභේදය පැතිර ගොස් ඇති අතර දකුණු කොරියාව,
තායිලන්තය, හොංකොං, බංග්ලාදේශය, සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය යන රටවලද
පැතිර ගොස් ඇත.

ශිරාන් රණසිංහ