hotel request covid19

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස සංචාරක හෝටල් ලබාදීමට කැමති හෝටල් හිමියන්ගෙන් අයදුම්පත් කැඳවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ව නිරෝධානයට සඳහා යොමුකළ යුතුව ඇති අතර, ඒ සඳහා ලබාදෙන සංචාරක හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිර්මට නියමිතව ඇත. ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික විගමණික සේවකයන් මෙරටට ගෙවීමෙන් පසු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන කඩිනමින් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර, ඒ අනුව මෙම තීරණය ගෙන තිබේ.විදේශගතව සිටින ලාංකිකයන් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට නව වැඩපිළිවෙළ පිළිබඳ කම්කරු අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණ ගෙන ඇත.විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කෝවිඩ් වැළැක්වීම පිළිබඳ රාජ්‍ය



අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්,සර්වෝදය ව්‍යාපාරයේ ආචාර්ය වින්යා ආරියරත්න, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ඇතුළු නිලධාරීහු රැසක් මම අවස්ථාවට එක්වූහ. විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය විගමණික ශ්‍රමිකයන් සඳහා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. කාර්යාංශයේ පනතට අනුව කාර්යාංශයේ අරමුදල් වැය කළ හැක්කේ, එම කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය විගමණික ශ්‍රමිකයන් සඳහා පමණක් බැවින්, වෙනත් මාර්ග ඔස්සේ විදෙස් රැකියා සඳහා ගිය අයට මෙම ප්‍රතිලාභ වැය කළ නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙරට දැනට ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොමැති නිසා යුද හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් ඇතුව වෙනම නිරෝධායන මධ්‍යස්ථාන මෙම විගමණික සේවකයන් සඳහා කඩිනමින් ආරම්භ කරන ලෙස මෙහිදී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. ඒ සඳහාදිවයිනේ විවිධ ස්ථානවල දැනට වසා දමා ඇති සංචාරක හෝටල් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ සොයා බලන ලෙසත් හෙතෙම පැවසීය. එම සංචාරක හෝටල් මෙම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ලබාදීමට කැමති හෝටල් හිමියන්ගෙන් ප්‍රසිද්ධ දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවන ලෙසද මෙහිදී ඇමැතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී ඇත.



මෙහිදී අදහස් දැක්වූ යුද හමුදාපති, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ වනවිට විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් අනුදහසකට ආසන්න ප්‍රමාණයක් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි. ඒ සඳහා හෝටල්ද ඇතුළුව නිරෝධායන මධ්‍යස්ථාන අසූහතක් ක්‍රියාත්මක වේ. නමුත් මෙම විගමණික සේවකයන්ට නිරෝධායන පහසුකම් සම්පාදනය කරමින් ඔවුන්ට උපරිමයෙන් සේවය කිරීමට යුද හමුදාව සූදානමින් සිටින බවද යුද හමුදාපතිවරයා දැනුම්දී තිබේ.සර්වෝදය ව්‍යාපාරයට අයත් පුහුණු මධ්‍යස්ථාන මෙම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ලබාදීමටත්, ඒවාට අවශ්‍ය උපකරණ හා නිරෝධායනය වන අයගේ ආහාරපාන හා සුභසාධන කටයුතු කිර්මටද සර්වෝදය ව්‍යාපාරය සුදානම් සිටින බව ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා මෙහිදී දැනුම්දී ඇත. මේ පිළිබඳ වැඩිදුර ක්‍රියා කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. අරමෛහිනායහම් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, යුද හමුදාව,විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ කමිටුවක්ද පත් කර තිබේ.

(චාමර සම්පත්)