
නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාජ අයුරින් නිපදවූ 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත් වූ බව එරට ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ කල්ලියක සාමාජිකයන් පිරිසකි. මොවුන් කොවිඩ් 19 එන්නත් යැයි පවසමින් නිපදවා විකුණා ඇත්තේ සේලයින් දියර යැයි පොලිසිය පවසා ඇත. පසුගිය සැප්තැම්බරයේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වූ බව පොලිසිය පැහැදිලි කර තිබේ.
බීජිං අගනුවර ඇතුළු චීනයේ ප්‍රධාන නගර කීපයක මෙන්ම නැගෙනහිර දෙසින් පිහිටි ජැංග්සු සහ ෂැංඩොන් ප්‍රාන්තවලවල මෙම ව්‍යාජ එන්නත් නිපදවීම සහ විකිණීම සිදුවී ඇති බව ද පැවැසෙයි. පොලිසිය සිදු කළ වැටලීම්වලින් ව්‍යාජ එන්නත් මාත්‍රා 3,000 ක් අත්අඩංගුවට ගත් බව ද ශින්හුවා පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කර තිබේ. කෙසේ නමුත් මෙම අපරාධ කල්ලි එන්නත් විකිණීම සිදු කළේ කුමන ආකාරයකට ද යන්න පොලිසිය මාධ්‍ය වෙත අනාවරණය කර නැත.
චීන රජය සහ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය එක් වී චීනයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් මැදිහත් වී, සාර්ථක බව පැවැසෙන එනනත් කීපයක් නිපදවා ඇත. චීන රජය එම එන්නත් මහා පරිමාණයෙන් එරට වැසියන්ට ලබා දීම සිදු කරන්නේ නොමිලේය. ප්‍රමුඛතාව පළමුවෙන් ලැබෙන්නේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට යැයි පැවැසෙයි. ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පිට එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන පිරිස්, එන්නත් මිලදී ගැනීමට පෙලඹී සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval