පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට අදාළව සිදුවන පරික්‍ෂණ සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්නාර්ථ පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (17) පැවසූහ.  මෙම පරීක්‍ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිදැයි තමන් නොදන්නා බව කී අගරදගුරුතුමෝ එළැඹෙන චාතාරික සමයේදී එම කරුණ දෙවියන් වහන්සේන්ගේ උසාවියට භාර කර යාඥා කරන්නැයි කිතුනුවන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළහ. කාදිනල්තුමන් මේ බව පැවසුවේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී ඊයේ (17) පැවැති අළු බදාදා දේව මෙහෙයට එක්වෙමිනි.
 



වැරැදි කළ අයට සමාවදීම යහපත් වුවත් වරද ප්‍රතිකේෂ්ප කර සාධාරණීකරණය කළ නොහැකි බව කී කොළඹ අගරදගුරුතුමෝ පාස්කු දින ප්‍රහාරයේ සුල මුල සොයා බලා නීතිය ක්‍රියාත්මක කරවීම ජාතික වගකීමක් යැයි ද පැවසූහ.  රට තුළ භේද භින්න ඇතිකර බලපෑම් ඇතිකිරීමට ඇතැම් රටවල් බලාසිටින බවත් එවැන්නක් නොවන ආකාරයෙන් රට තුළ සහෝදරත්වය ගොඩනගන පරිවර්තනයකට පාස්කු ප්‍රහාරය අවස්ථාවක් කරගත යුතුයැයි ද කාදිනල්තුමෝ කීහ. එහිදී අදහස් දැක්වූ කාදිනල්තුමෝ මෙසේ ද කියා සිටියහ.


සත්‍ය වෙනුවෙන් හා සාධාරණත්වය වෙනුවෙන් ගතකරන මේ චතාරික සමය අපි ආයුධයක් කරගමු.

වැරදි කළ අයට සමාවදීම  හොඳ වුණත් වැරැද්ද ප්‍රතික්ෂේප කර සාධාරණීකරණය කරන්න බැහැ. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කරගෙන යන වැඩපිළිවෙළ ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්දැයි මා දන්නේ නැහැ. මෙහි බොහෝ ප්‍රනාථ තිබෙනවා. අපි දෙවියන්ට වහන්සේගේ උසාවියට මේ කාරණාව භාර දී උන්වහන්සේට යාඥා කරමු.


අපේ අහිංසක සහෝදර සහෝදරියන් 260 කගේ ජීවිත විනාශ කළ ඒම ආත්මාර්ථකාමීත්වයට රට වෙලාගන්න නොදී ජාතීන් ආගම් අතර සාමය, සහෝදරත්වය ඇතිකරන්න, මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සුල මුල සොයා බලා ඒකට නීති රීති සපයන්න අපි කටයුතු කළ යුතුයි. එය ජාතික වගකීමක්. මෙය  මෙරට හෝ විදෙස් කණ්ඩායම් විසින් සංවිධානය කළ එකක් බව අප දන්නවා. වැරැද්ද කළ අයට දඬුවම් කිරීම මෙන්ම අපි වැරදි නොකර ඉන්නත් කටයුතු කළ යුතුයි.” යැයිද කාදිනල්තුමෝ කීහ.


 -ඩයනා උදයංගනී-