ravi kumudesh covid 19

එකදු ජාන විශ්ලේෂක යන්ත්‍රයක්වත් නොමැතිව ඒ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයක්වත්
නොපවත්වා නව වයිරස ප්‍රභේදයක් පැතිර යන බවට පැවැසීමේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි. 

රෝගයක් පැතිර යන ආකාරයට හෝ රෝග ලක්ෂණ මතුවන ආකාරයට නව ප්‍රභේදයක් යැයි කීම විද්‍යාත්මක
ක්‍රමවේදය නොවන බවත් මේ වන විට අවසාන වශයෙන් නව වයිරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් හඳුනා
ගැනීමක් කොට ඇත්තේ සුමාන හතරකට පමණ පෙර බවත් හෙතෙම පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පවසයි.



“සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරලා තිබුණා ළමයින් අතර සහ වැඩිහිටියන් අතර අලුත් ප්‍රභේදයක්
පැතිරෙනවා කියලා. මේ වෙලාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රභේදයක් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ
වෙනවා. නමුත් අපි පැහැදිලිව කියනවා අද වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැහැ
ප්‍රභේදයක් ගැන අදහසක් පළ කිරීමට. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ප්‍රභේද ගැන විවිධ කතා
කියන්නට, “විද්‍යාත්මක හැකියාවක්” නෑ. ප්‍රභේද හඳුනා ගැනීමේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර
එකක්වත් නැතුව ප්‍රභේද ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතා වලංගු නෑ.

මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ප්‍රභේද හඳුනාගැනීමේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර
එකක්වත් නැහැ. අපි එම යන්ත්‍රය ඉල්ලනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, ආසියානු
සංවර්ධන අරමුදල මේ සඳහා මුදල් දෙන්න ලෑස්ති වී සිටියදී අපේ රටේ මේ සඳහා වගකියන වයිරස්වේදීන්
කිසිවකුගේ ඒ සඳහා උනන්දුවක් තිබ්බේ නැහැ. අපි විශ්වාස කරනවා ඔවුන්ට අභියෝගය භාර ගන්න බැරි
නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් ගෙන්වීම සහ ඊට අදාළ ප්‍රභේද
සොයා ගැනීමේ ක්‍රියාවලිය අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මඟහැරලා ඒකෙන් ඉවත් වෙලා ඒ
රාජකාරිය ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වගේ කුඩා රසායනාගාරයකට පවරලා බලාගෙන ඉන්නවා.



මේ ප්‍රභේද ගැන කතා කරද්දී අපිට කතා කරන්න වෙන්නෙම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අහඹු ලෙස
කරන පරීක්ෂණවලින් පමණයි. අපිට තියෙන තොරතුරුවලට අනුව සෞඛ්‍ය ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කියන ප්‍රභේදවලට අදාළව මේ වෙනකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්
කිසිදු පර්යේෂණයක් කරලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට එම පරීක්ෂණ කරන්න හැකියාවක් නැහැ.
ප්‍රභේදයක් ගැන කතා කරන්න නම් රසායනාගාරයක ප්‍රභේදයක් හඳුනා ගන්න ඕනෑ.

හඳුනාගැනීමේ පරීක්ෂණයක් නැතිතුව එහෙම ප්‍රකාශයක් කිරීමේ කාරණාව අපිට අභියෝගාත්මකයි.
රසායනාගාර සේවාවේ වෘත්තිකයන් විදියට එහෙම විද්‍යාත්මක සොයා ගැනීමක් කරලා නැහැ. රෝගයක්
පැතිර යන විදියට, උණ හැදෙන විධියට, ඔළුව කැක්කුම හැදෙන විධියට ප්‍රභේදයක් යැයි කීම
විද්‍යාත්මක ක්‍රමවේදය නොවේ. අපි දැනට අවසාන වශයෙන් ප්‍රභේද හඳුනාගැනීමක් කරලා තියෙන්නේ
ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සුමාන හතරකට විතර කලින්. ඒ ප්‍රභේදයට අමතර වශයෙන්
ලංකාවේ කොහේවත් තැනක ප්‍රභේද සම්බන්ධ පරීක්ෂණයක්. මෙය කොයි ආකාරයකින් ගොතන ලද්දක්ද, ඒ
සඳහා පදනම් වුණු විද්‍යාත්මක නොවන කාරණා මොනවාද කියන එක සම්බන්ධයෙන් අපිට ප්‍රකාශ කරන්න
හැකියාවක් නැහැ.”


සවනි ශේශාධි