මේ දිනවල වෙළෙඳපොළේ සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් ජනතාවට දරන්නට අමාරු තත්වයකට පත්ව තිබියදී වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන මාස 3 ක  කාලයක් සඳහා තෝරාගත් ස්ථාන කිහිපයක පාලන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවට ඊයේ ප්‍රසිද්ධ කළේය.
මෙම මිල අඩු කිරීම ජනතාව පැත්තෙන් විශාල යහපතක් ලෙස පෙනුණත් වෙළෙඳපොළ තුළ සිදු කරන මෙවන් වෙනස්කම් නිසා ඇත්ත වශයෙන්ම සිදුවිය හැකි පාඩුව ජනතාවටම ටික කලකින් විඳවන්නට සිදුවන බවට විවේචන එල්ලවී තිබේ. කලකට ඉහත ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවූයේද මෙවැනි විසඳුම් හඳුන්වාදෙන්නට යාමෙනි.
කාලයක් තිස්සේ  බඩු මිල පාලනයට ඇලවූ පැලැස්තර නිසා අද වන විට වෙළෙඳපොළ  භයානක වී තිබේ. ඊයේ ඉදිරිපත් වූයේ වෙළෙඳ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ඉදිරි මාස තුනක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණ ව්‍යාපෘතියකි. එනම් මෙය එකම මිලකට භාණ්ඩ වර්ග 27ක් මාස තුනක් පුරා මිලදී ගැනීමට හැකිවන වැඩපිළිවෙළකි. දේශීය නිෂ්පාදකයන් හා සෘජු ආනයනකරුවන් එකතු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. අතරමැදියන් හට
අධික ලාභ ලැබීමට මේ හරහා අවස්ථාව අහිමි වේ. ඒ අනුව පළමු දේශීය නිෂ්පාදකයන්ට හා ඍජු ආනයනකරුවන්ට සිය මිල අභිප්‍රායන් ප්‍රකාශ කරන්නට රජය අවස්ථාව ලබා දුන්නේය.
ඔවුන් අතරින් තෝරාගැනුණු පිරිස සමඟ ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීමේ ගිවිසුමට පෙබරවාරි 03දා වෙළෙඳ අමාත්‍යාංශයේදී අත්සන් තැබීම සිදුවිය.
මෙම අවස්ථාවේදී ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කළේය. මිල ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ එළඹෙන ලද ගිවිසුම ප්‍රකාරව නිසි ගුණත්වයෙන් යුත් ජනජීවිතයට අත්‍යවශ්‍ය. වන පාරිභෝගික භාණ්ඩ පවත්නා මිලට වඩා අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු එම අවස්ථාවේ කියා සිටියේය.
මෙම ගිවිසුම අනුව 2021 පෙබරවාරි සිට ජුනි අතර කාලයේදී විනිමය අනුපාත වෙනසක් මත රජය බදුපැනවීමකින් හැරෙන්නට භාණ්ඩ මිල ස්ථාවරව තබාගන්නට වෙළෙන්දන්ට සිදුවේ. මේවා භාණ්ඩ වර්ග 27 කට අදාළ වන අතර අලෙවි කරන්නේ සතොස සමූපකාර හා කියු ෂොප් වලින් පමණි. කීල්ස් ෆුඩ්සිටි ආර්පිකෝ ආදී වෙනත් සුපිරි වෙළෙඳ සැල්වල ඇත්තේ වැඩි මිලකි.

වෙළෙඳ අමාත්‍යවරයා අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව පළමු අදියරේ දී ඉදිරි මාස තුනක් සඳහා මිල ස්ථාවර වන භාණ්ඩ මෙහේස්ය. රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා, තිරිගු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ රතු පරිප්පු ඕස්ට්‍රෙලියන්, ලොකු ලූනු - ඉන්දියන්, අර්තාපල් දේශීය, අර්තාපල් - පකිස්තාන්, කඩල, වියළි මිරිස්, චින් මාව - දේශීය, ටින් මාළු - ආනයනික, හාල්මැස්සන් - තායිලන්ත, කුකුළු මස් (සම සහිත), ලණු කැට, කිරිපිටි, තෙල්, රෙදි සෝදන සබන්, රෙදි සෝදන බාර් සබන්, සුවඳ සබන්, දත් දන දියර, මුව ආවරණ (SLS සහතික ලත්)


රජයේ වෙළෙඳසල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථායී වූ පමණින් සමස්ත වෙළෙඳපොළ භාණ්ඩ 27ක මිල මාස තුනක් පුරා ස්ථාවර වේ. යැයි අපේක්ෂා කිරීම ගැටලු සහගතය.  සතොස, ලක් සතොස, සමුපකාර ඇතුළු රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වෙළෙඳ යාන්ත්‍රණය සුපිරි වෙළෙඳසල් ජාලය තරම් ශක්තිමත් නැත. දිගු පෝලිම්වල දුෂ්කරතා විඳගෙන මේවා ලබාගත යුතු අතර එම ගැටලු ගැන නොතකන පාරිභෝගිකයින්ට මෙහි වාසියක් තිබේ.ඉදිරියේ දී රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා කුඩා පරිමාණයේ අලෙවි සල්
පොදු ස්ථාන ඉලක්ක කරගෙන ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවත් තරුණ කටයුතු අමාත්‍යංශය සහ තරුණසේවා සභාව හරහා ද තරුණ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් බජට් ෂොප් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් කියැවේ. එවැනි තත්වයක් ඉක්මණින් උදාවේ නම් වැඩි පාරිභෝගික පිරිසකට පුද්ගලික අංශ ඒකාධිකාරයෙන් මිදීමට ඉඩ හසර සැලසේ.

මේ දක්වා හමුදාව පෞද්ගලික හෝටල් ආදී බොහෝ ආයතන සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නේ ස්ථායී මිල ගණන් යටතේය. යම් කාල පරාසයක් තුළ එකම මිලක් පවත්වාගෙන යාමේ වාසි මෙන්ම අවාසි ද තිබේ. කෙසේ වෙතත් එය දෙපාර්ශ්වයටම එක සේ බලපායි. එසේ නමුත්
ස්ථිර ගනුදෙනු කරුවකු ලැබෙන නිසාවෙන් නිෂ්පාදකයන් මෙන්ම සෘජු ආනයනකරුවෝ ද මෙම ක්‍රමයට වැඩි නැඹුරුවක් දක්වති. පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව ද වෙළෙඳුන් සමඟ මෙන්ම වෙළෙඳ සංවිධාන සමග මිල පිළිබඳ මෙවැනි ගිවිසුම්වලට එළැඹිය හැකිය. සතොස සහ සමුපකාරය මෙම ක්‍රමය යටතේ තවදුරටත් භාණ්ඩ මිලදී ගැනීමට සමත් වුවහොත් ඉදිරියේදී සමුපකාර සහ සතොස ජාලය හරහා මහජනතාවට සාධාරණ මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවනු ඇත.