අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 82ක් වූ දෙදරු මවකට අතවර කොට සැඟව සිටි
පුද්ගලයෙකු අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මව වල්ගම ප්‍රදේශයේ තිබෙන නිවෙසේ තනිව සිට ඇති අතර ඇයගේ දරුවෝ් වෙනත් නිවෙස්වල
පදිංචිව සිටියහ. ඇයගේ නිවෙස අසල කුඩා කඩ කාමරයක් කුලියට දීමට තිබෙන බවට වූ දැන්වීමකට විස්තර
විමසන මුවාවෙන් පැමිණි සැකකරු නිවෙස තුළ ඇය තනිව සිටින බව දැනගෙන තර්ජනය කොට ඇයව දූෂණය
කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු විය. පසුගිය  28 වැනිදා උදෑසන 
8ත් 10ත් අතර මෙම
සිද්ධිය සිදුවී ඇති අතර සැකකරු පලාගොස් ඇත.

කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කොට තිබේ.

අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කරනු ලැබූ විමර්ශනයකින් හෝමාගම, පිංකෙත ප්‍රදේශයේ නිවෙසක සැඟවී
සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු 32 වියේ පසුවන පෙදරේරු රැකියාවේ නිරත විවාහකයෙකි.

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර
එදින ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.ප.
ප්‍රේමලාල්, පො.ප. දිනුක, උ.පො.ප. රොෂාන්, පො.සැ. සුකුමාරන් (36709), ළමා හා කාන්තා
ඒකකයේ ස්ථානාධිපති  කා.පො. සැ. නිලක්ෂි (5488), පො.සැ. තෙන්නකෝන් (40793),
පො.කො.වරුන් වන හර්ෂ (84898), ප්‍රසාද් (76215), හෙට්ටිගේ (92515), සුසන්ත (928) ඇතුළු
නිලධාරීහු පරීක්ෂණ  මෙහෙයවති.


කඩුවෙල - සුගත් ලියනගේ