පොලිසියත් අපරාධයක ප්‍රධාන සැකකරුවකුත් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරියකුගේ වෙඩිපහරින් එම සැකකරුවා මිය යෑමේ පුවතක් පසුගියදා වේයන්ගොඩින් වාර්තා විය.
මෙම ගැටුමේදී පොලිස් රියැදුරකු ලෙස සේවය කළ කොස්තාපල්වරයකුද බරපතළ තුවාල ලැබූ අතර සැකකරු රැගෙන ගිය කැබ් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටීම නිසා දැඩි අලාභ හානියට පත්විය.
සිද්ධියෙන් මිය ගියේ වේයන්ගොඩ, බ්‍රැවන්වත්ත බාඳුරාගොඩ පාරේ පදිංචිව සිටි යෝධපේඩිගේ නිශාන්ත කුමාරසිරි නමැති තිස් හත් හැවිරිදි දෙදරු පියෙකි.
නිශාන්ත පොලිස් වෙඩි පහරින් මියගියේ ආයුධ තොගයක් හා කඩු දෙකක් සඟවා තිබූ තැනක් පොලිසියට පෙන්වීම සඳහා නිලධාරීන් සමඟ වේයන්ගොඩ හල්ගස්පිටිය ප්‍රදේශයට යමින් සිටියදීය.
නිශාන්ත කුමාරසිරි පොලිස් අත්අඩංගුවට පත්වූයේද නැතහොත් පොලිසියට භාරවූයේද යන්න තවමත් නිශ්චිත නැත. කෙසේ වෙතත් පොලිසියට කට්ටි පනිමින් සිටි ඔහු පොලිසියට අසුවූයේ තවත් අයකු සමඟ ගොස් සිදුකළඅමානුෂික ක්‍රියාවක් නිසාය.

නිශාන්ත ගංජා, කසිප්පු හා කුඩු ජාවාරම්වලටද කොල්ලකෑම්වලටද සම්බන්ධ වූවෙකි. අත් බෝම්බයක් ළඟ තබා ගැනීමේ වරදට හසු වූ ඔහු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි තැනැත්තෙකි. ඒ නිසා බ්‍රැවන්වත්තේ හා ඒ අවට බොහෝදෙනා නිශාන්තට දැක්වූයේ දැඩි බියකි.


මීට තවත් හේතුද තිබේ. නිශාන්තගේ පියාද කලක් එම ප්‍රදේශයේ ‘චණ්ඩියකු’ ලෙස නම්දරා සිටියෙකි.
‘බ්‍රොස්ටල් මහතුන්’ කී පමණින් කවුරුත් ඔහු දැනසිටියහ. ඔහුද එතරම් හොඳ චරිතයක් ඇති අයෙක් නොවීය.ෙ
මාලිගාතැන්න හා බ්‍රැවන්වත්ත  කසිප්පු, ගංජා ජාවාරම්වලට නම් දරා තිබූ ප්‍රදේශ විය.
බේ‍රාස්ටල් මහතුන් නමැත්තා මේ සෑම නීති විරෝධී ක්‍රියාවකටම සම්බන්ධ  වී සිටියේය.
මහතුන්ට අනියම් බිරියෝද වූහ. ඒ බිරියන්ට ඔහුට දාව දරුවෝද වූහ. නිශාන්ත කුමාරසිරිත් එබඳු පුතෙකි. මහතුන්ට එරෙහිව නොයෙකුත් චෝදනා එල්ල වී තිබූ අතර ඔහු මීට වසර කිහිපයකට පෙර ජීවිතක්‍ෂයට පත්වූයේ එවන් ක්‍රියාවකට චෝදනා ලැබීම හේතුවෙන් ඇති වූ සිද්ධියක් දුරදිගයෑම නිසා සිදුකර ගන්නා ලද දිවි නසා ගැනීමකිනි.

මහතුන්ගේ මරණයෙන් පසු නිශාන්ත කුමාරසිරිද ගංජා, කසිප්පු, මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී
බ්‍රැවන්වත්ත පුරා බියසැක පතුරුවාගෙන සිටි අයෙකි.

බ්‍රැවන්වත්තට නුදුරුව පිහිටි මාලිගාතැන්නද ගංජා, කසිප්පු ජාවාරමට ප්‍රකට ප්‍රදේශයකි.
මාලිගාතැන්නේ් සුනන්ද ජයලත්ද මේ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ මහතුන්ගේ පුතා වන නිශාන්ත සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගිය අයෙකි.

කලක් තිස්සේ මේ දෙමිතුරන් ගංජා, කසිප්පු ජාවාරමේ නිරත වූ අතර මේ ජාවාරම් නිසා දෙදෙනා අතර
ආරවුල්ද ඇති නොවූවා නොවේ. මෙහි ආසන්නතම අවස්ථාව වූයේ දෙදෙනාටම ගංජා සපයන කුමාර
නමැත්තකු වේයන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමය.

කුමාරත් ඔහුගේ සගයකුත් කොළඹ සිට ගංජා රැගෙන වේයන්ගොඩට එන බවට පොලිසියට ඔත්තුවක් ලැබෙන්නේ ඔය අතරය. එම ඔත්තුවත් සමඟ ක්‍රියාත්මක වූ නිලධාරීන් මාර්ග බාධකයක් යොදවා මෙම සැකකරුවන් ගංජා සමඟ අත්අඩංගුවට ගත්තේ එම ජාවාරමට තාවකාලික තිතක් තබමිනි.

ගංජා ජාවාරමේ යෙදෙන මිතුරන් දෙදෙනා වේයන්ගොඩ පොලිසියට කොටු වීමත් සමඟ නිශාන්ත කුමාරට ඇති වුණේ දැඩි කෝපයකි. ඊට හේතු වූයේ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයන් නිශාන්ත විසින් පොලිසියට අල්ලා දුන් බවටදොස් නැඟීම නිසාය.

එහෙත් තමා පොලිසියට ඔත්තු නොදුන් බව දත් නිශාන්ත එවන් පහත් වැඩක් කළේ තම මිතුරා සුනන්ද බව වටහාගත්තේය. ඒ මිතුරන් දෙදෙනා පොලිසියට කොටුවීමට කලින් ඔවුන්ගේ දුරකථන අංකය සුනන්ද විසින් නිශාන්තගෙන් ඉල්ලා සිටීම ගැන ඔහුගේ මතකයට නැඟීම හේතුවෙනි.

“සුනන්දයා මගෙන් කුමාරගේ ෆෝන් නොම්මරේ ඉල්ලගත්තේ පොලිසියේ  එවුන්ට ටිප් එකක් දෙන්ම තමයි.”

මෙලෙස සිතූ නිශාන්ත එදා සිට සුනන්දට මරණ තර්ජන කරමින් කොයි මොහොතක හෝ එම වාඩුව ගන්නා බවට පණිවුඩ පිට පණිවුඩ යවන්නට විය. මේ නිසා සුනන්ද හිටියේ කිසියම් තැති ගැනීමකිනි.

ඒ ඉකුත් දෙසැම්බර් 19 වැනිදාය. වේලාව උදෑසන 10.00ට ආසන්නය. සුනන්ද සිය පුතුද සමඟ
මාලිගාතැන්න නගරයේ වෙළෙඳසලකට පැමිණ සිටියේ සිමෙන්ති කොට්ටයක් මිලදී ගැනීම සඳහාය.

“ඒයි, සුනන්දයා හන්දියේ හාඩ්වෙයාර් එකේ ඉන්නවා.”

නිශාන්තට කිසිවකුගෙන් ඔත්තුවක් ලැබිණි.

“ඒයි අරූ කඩේට ඇවිල්ලා. ඉක්මනට කඩු දෙක ගනින්...”

තවත් අයකු සමඟ කඩු දෙකක්ද රැගෙන මාලිගාතැන්න නගරයට පැමිණි නිශාන්ත වෙළෙඳසලක් තුළ සිටි සුනන්දට තියුණු කඩුවලින් පහර පිට පහර දුන්නේ ඔහුට දුවන්නටවත් ඉඩක් නොතබමිනි. කඩු පහර වැදීමෙන් සුනන්දගේ අත් පා සිරුරෙන් වෙන් විය. සුනන්ද මර හඬ දෙද්දී නිශාන්ත පලාගියේ සුනන්දගේ සිරුරෙන් වෙන් වී තිබූ පාදයක කොටසක්ද රැගෙනය. කඩු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුනන්ද වතුපිටිවල රෝහලටත් එතැනින් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යැවිණි.

අමානුෂික ලෙස  තුවාලකරුගේ පාදයක කොටසක්ද රැගෙන පලාගිය නිශාන්ත හා ඔහුගේ සගයා සොයා වේයන්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කළද ඔවුන් සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. එහෙත් ඊට දින දෙකකට පසු සුනන්දගේ පැහැරගත් පාදයේ කොටස කළු පොලිතින් උරයක බහා මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල දමා ගොස් තිබියදී හමු විය.

වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයට සැකකරුවන් සොයා ගැනීම අසීරු වූ තැන බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර උතුර පෑලියගොඩ අපරාධ  කොට්ඨාසය වෙත පැවැරිණි.

එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ඕ.කේ.ටී. නානායක්කාර මහතාගේ මෙහෙයවීම මත එම ඒකකයේ ස්ථානාධිපති ජයන්ත ධර්මකීර්ති ප්‍රමුඛ පොලිස් පරීක්ෂක අජිත් සේනානායක හා පතිරාජසූරිය ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් සොයා වැටලීම් කිහිපයක් සිදුකළද මෙහෙයුම සාර්ථක නොවීය.

මේ අතර සොයාගත නොහැකිව සිටි සිද්ධියේ ප්‍රධාන සැකකරු නිශාන්ත නමැත්තා කුරුවිට පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණේ විමර්ශන නිලධාරීන් අන්දුන් කුන්දුන් කරවමිනි.

සැකකරු විසින්ම පොලිසියට දෙන ලද දුරකථන ඇමැතුමකට අනුව කුරුවිට පොලිසියේ නිලධාරීන් ඔහු
අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන්ද ප්‍රශ්න පැන නැඟිණි.

කෙසේ වෙතත් පොලිසිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්තේ මත්කුඩු ග්‍රෑම් කිහිපයක්ද සමඟිනි. ඒ අනුව සැකකරුට අවශ්‍ය වී තිබුණේ මත්කුඩු සමඟ පොලිසියට මාට්ටු වී ඇතුළට යෑමෙන් වේයන්ගොඩ සිද්ධියෙන් බේරී සිටීමට බව විමර්ශන නිලධාරීන්ට වැටහිණි.

අවසානයේ මේ සම්බන්ධයෙන් ගම්පහ පොලිස් බලධාරීන් බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පතිවරයාට දැනුම් දීමත් සමඟ කුරුවිට පොලිසිය භාරයේ සිටි සැකකරු පෑලියගොඩට අපරාධ
කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගැනිණි.

මෙලෙස භාරගත් ප්‍රධාන සැකකරු පෑලියගොඩ රැගෙන ආ නිලධාරීහු ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න
කරන්නට වූහ. නිශාන්ත කුමාරසිරියේ පැටිකිරියද හෙළිදරව් වූයේ එහිදීය.

“මගේ තාත්තා හැරිසන් කුමාරසිරි... දැනට මියගොස් සිටින්නේ... මට සහෝදර සහෝදරියෝ හතරදෙනෙක් ඉන්නවා. මමයි ලොකු මල්ලියි එක අම්මා කෙනෙකුගේ, අනෙක් තුන්දෙනා වෙන අම්මා කෙනෙකුගේ.

වේයන්ගොඩ ඉස්කෝලේ 11 වසර දක්වා මම ඉගෙන ගත්තා. ..ඉස්කෝලෙන් අයින් වෙලා ලයිසන් අරගෙන ගෙදර තිබුණු වෑන් එකෙන් කුලියට හයර් ගියා....

ඔහොම ඉන්නකොට මාව තුන්හතර පාරක්ම පොලිසියට අහුවුණා.

2004 අවුරුද්දේ නිට්ටඹුව - කිරිඳිවැල පාරේ ලොරියක් පැහැරගෙන ගිහින් මංකොල්ල කෑවා කියලා
නඩුවකට පැටලුණා. ඒක කළේ මමයි මිවුන්ගොඩ මංජුයි, කුමාරයි. ඒ නඩුව අපි තුන්දෙනාටම වැටුණා. ඊට පස්සේ ටැලිෆෝන් කම්පැනියකට අයිති වෑන් එකයි ඒකේ තිබුණු සල්ලියි කොල්ලකාපු එකටත් අපි පොලිසියට අහුවුණා. ඒකටත් මාත් එක්ක ගියේ මිනුවන්ගොඩ මංජුයි, කුමාරයි. හැබැයි ඒ නඩු දෙකෙන්ම මම නිදහස් වුණා.

ආයෙත් 2011 අවුරුද්දේ වේයන්ගොඩ, උඩුගමදී චීන ජාතිකයකුගේ මුදල් කොල්ලකෑවා කියලා මාව ආයෙත් පොලිසියට මාට්ටු වුණා. ඒක මම කළේ කුලියාපිටියේ සුගතුයි මිනුවන්ගොඩ මංජුයි එක්කලා. ඒ නඩුව තවම හයිකෝට් එකේ විභාග වෙනවා.

ආයෙත් ඒ අවුරුද්දේම නයිවල කඩයක් මංකොල්ලකෑවා. ඒකටත් මමයි, මංජුයි, සුගතුයි මාට්ටු වුණා. ඒකත් ගම්පහ හයිකෝට් එකේ විභාග වෙනවා.  ඊට අමතරව කසිප්පු නඩු 8ක් විතරක් තියෙනවා.”


සැකකාර නිශාන්ත පොලිස් නිලධාරීන් ඉදිරියේ කියාගෙන ගියේය. එහෙත් නිලධාරීන්ට අවශ්‍ය වූයේ ඔහුගේ පැටිකිරිය නොව ඔහු සිදුකළ අමානුෂික ක්‍රියාව හෙළිදරව් කරගෙන ඊට උපයෝගී කරගත් ආයුධ සොයා ගැනීමය.

“ඒක හරි. ඇයි උඹ සුනන්දව කැපුවේ...!”

පොලිස් පරීක්ෂක අජිත් සේනානායක නිශාන්තගෙන් ප්‍රශ්න කළේය.

“අනුරාධපුරේ නෙළුම්කුලමේ කුමාර කියලා කෙනෙක් ඉන්නවා. එයා කේ.ජී. බිස්නස් කරන්නේ. මම
එයාගෙන් මගේ හිතවත් අයට කේ.ජී. අරන් දෙනවා. ඒ බඩු දවසක් වේයන්ගොඩ පොලිසියට අහුවුණා.
සුනන්ද ඔය සිද්ධියට කලින් කුමාරගේ හෑන්ඩ් ෆෝන් නොම්මරේ ඉල්ලගත්තා. මම ඒ නොම්මරේ සුනන්දට දුන්නා.

කුමාරව පොලිසියට අහුවුණාට පස්සේ මම සුනන්දගේ ගෙදරට ගිහින් මොකක්ද වුණේ කියලා ඇහුවා. කුමාරයි එයාගේ යාළුවයි රිමාන්ඩ් වුණා.

ඒ අය ඇහැව්වා කවුද උන්ව පොලිසියට අල්ලලා දෙන්න ඔත්තු දුන්නේ කියලා. මම කිව්වා මම නෙවෙයි
සුනන්දයා වෙන්න ඇති කියලා. පස්සේ උන්ට මම සුනන්දගේ ගෙදරත් පෙන්නුවා.”

“ඒක හරි. එදා 19 වැනිදා මොකද වුණේ?”

“එදා මම ගෙදර ඉන්නකොට සුදුපාට කාර් එකකින් රුවන් මල්ලියි යාළුවකුයි ආවා.  එයාලා කිව්වා සුනන්ද හොයාගන්න ඕනෑ. කාර් එකේ යන්න බැහැ. බයික් එකක් හොයලා දෙන්න කියලා. ඒ පාර මම ඉන්දු කියන යාළුවට කතා කරලා බයික් එකක් හොයලා දුන්නා.

පස්සේ එයාලා බයික් එකෙන් සුනන්ද හොයන්න ගියා. අපි කාර් එකේ හිටියා. ටික වෙලාවකින් රුවන් මල්ලියි යාළුවයි අපිව පහුකර ගියා. ටික වේලාවකට පස්සේ වෙන්දේසිවත්තේදී අපිට හම්බවුණා. රුවන් මල්ලි කිව්වා එයා බයික් එක අරගෙන ගිහින් සවසට ගෙනත් දෙන්නම් කියලා. මම ගෙවල් ළඟින් බැස්සා. පස්සේ මට ආරංචි වුණා සුනන්දගේ අතපය කපලා කියලා.

ඒ පාර මම ගෙදරින් යන්න ගියා. මමයි බිරියයි දරුවනුයි වෑන් එකක් අරගෙන පොල්ගහවෙලට ගියා.
එතැනින් රෙන්ට් කාර් එකක් හොයාගෙන නුවරටත් මහියංගණය, බිබිල, පස්සර, බණ්ඩාරවෙල, බළන්ගොඩ රත්නපුර හරහා කුරුවිටට ආවා. එතැනින් මම බැහැලා ගෙදර කට්ටිය කාර් එකෙන්ම පිටත්කර යැව්වා.

මම කඩයකට ගිහින් පැරසිටමෝල් කරල් 2ක් අරගෙන කුඩුකරලා පැකට් එකක් හැදුවා. පස්සේ පොලිසියේ අංකය හොයාගෙන කොමිනියුකේෂන් එකකට ගිහින් පොලිසියට කතා කරලා මම ඇඳගෙන හිටිය ඇඳුමේ විස්තරයිමම හිටිය තැනයි කියලා සැකසහිත පුද්ගලයෙක් ඉන්නවා කියලා කිව්වා. පැය බාගයකට විතර පස්සේ පොලිසියෙන් ඇවිත් මාව ඇල්ලුවා.”

“එතකොට උඹ සුනන්දගේ අතපය කැපුවේ නැහැ.

පොලිස් පරීක්ෂකවරයා සැකකාර නිශාන්තගෙන් විමසුවේය..

“නැහැ සර්”

“එතකොට උඹ හැංගුණේ”

“පොලිසියෙන් මාවත් හොයයි කියලා”

“සුනන්දව කපපු කඩු කොහෙද තියෙන්නේ”

“ඒකත් මම දන්නේ නැහැ සර්. ඕවා රුවන් මල්ලිලා අරගෙන ගියා”

ප්‍රධාන සැකකරු කියන්නේ අමූලික බොරු බව තේරුම් ගැනීමට පොලිස් කණ්ඩායමට අපහසු නොවීය.

“යකෝ උඹ හිතනවද අපි උඹ කිව්ව සේරම විශ්වාස කළා කියලා”

සැකකරු කිසිවක් නො‍ෙදාඩා නිශ්ශබ්දව සිටියේය.

“එතකොට උඹ සුනන්දව කැපුවේ නැහැ” ඒත් සැකකරු නිහඬය.

“උඹට.. උඹ ඇත්ත කියනවද. නැත්නම් අපි ඇත්ත දැනගන්නද?”

එනපොට හොඳ නැති බව නිශාන්තට තේරුම් ගියේය.  පොලිසියෙන් හිරිහැර විඳිනවාට වඩා ඇත්ත කියා
ප්‍රශ්නය අවසන් කර ගැනීම නුවණට හුරු බව නිශාන්තට වැටහුණේය.

“මම ඇත්ත කියන්නම් සර්. මට ගහන්න එපා. මම ඉස්සෙල්ලා කිව්වේ බොරු”

“එහෙනම් කියපන් බලන්න ඇත්ත”

“සුනන්දගේ අතපය කැපුවේ මමයි රුවන් මල්ලියි සර්”

“ඇයි උඹලා එහෙම දෙයක් කළේ”

එතැන් පටන් නිශාන්ත සිදුවූ ඇත්තම කතාව එකක් නෑර කියන්නට විය”

“මට ගෙනාපු ගංජා වගයක් සුනන්ද පොලිසියට අල්ලලා දුන්නා. මම මේ ගැන හෙව්වා. මම දැනගත්තා
ඔත්තුව දුන්නේ සුනන්ද කියලා. මට හිතුණා සුනන්දට මතක හිටින්න පාඩමක් උගන්වන්න ඕනෑ කියලා.

පානදුර පැත්තේ රුවන් මල්ලි කියලා යාළුවෙක් ඉන්නවා. ඒගොල්ලෝ කියලා තිබුණා කඩු දෙකකුත් අරගෙන
මාව හම්බවෙන්න එනවා කියලා.  අපි සුනන්දගේ අත පය කපමු කියලා. රුවන් මල්ලි එදා කාර් එකෙන්
ආවා. කාර් එක මඟ තියලා මමයි රුවන් මල්ලියි ඩියෝ බයික් එකේ ගිහින් එදා දවසම සුනන්දව හෙව්වා.  

පස්සේ ආරංචි වුණා සුනන්ද කඩේ ළඟ ඉන්නවා කියලා. මම තමයි බයික් එක පැද්දේ. අපි දෙන්නම කඩු
දෙක කොන්ද පිටිපස්සේ ගහගෙන ගියේ. මම මුලින්ම බයික් එකෙන් බැහැලා  ගිහින් සුනන්දගේ අත්දෙකට කෙටුවා. ඌ කඩේ ඇතුළට දිව්වා. පස්සේ මමත් කඩේ ඇතුළට පැනලා ආයෙත් කෙටුවා. කොටලා එළියට
එනකොට රුවන් මල්ලි ගිහින් ආයෙත් සුනන්දගේ කකුල් දෙකට කෙටුවා.  කොටලා එක කකුලක් අතින් අරගෙන ආවා.

එතකොට සුනන්දගේ පුතාත් ත්‍රීවීලර් එකේ හිටියා. අපි පුතාටත් තර්ජනය කරලා, උඩුගම පාරේ කනත්ත ළඟට ගිහින් කඩු දෙක විසිකරලා මම ගේ ළඟින් බැස්සා. රුවන් මල්ලි කිව්වා මම බයික් එක පස්සේ ගෙනත් දෙන්නම් කියලා. එයා බයික් එක අරගෙන ගියා.”

“එතකොට කෝ ඒ කඩු?”

පොලිස් පරීක්ෂකවරයා නිශාන්තගෙන් විමසීය.

“ ඒ කඩු කනත්ත ගාව ඇති.”

“උඹට පෙන්නන්න පුළුවන්ද”

“පුළුවන් සර්”

පොලිස් නිලධාරීහු සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කරන්නට වූහ. ඒ තවත් අවි ආයුධ මොහු සතුව ඇත්දැයි දැනගැනීමටය. එයද සාර්ථක විය.

“මම සුනන්දයා කපන්න කලින් හංගලා ආව බඩු වගයකුත් තියෙනවා සර්”

“එතැන මොනවද තියෙන්නේ?”

“හෑන්ඩ් ගේ‍රනේඩ් වගයක්”

“ඒවා උඹට කොහෙන්ද?”

“මගේ තාත්තා තමයි බොස්ටන් මහතුන් කියන්නේ. එයා ඉන්න කාලේ ඒවා ගෙනත් තිබුණා”

සැකකරු මෙම අවිආයුධ පෙන්වීමට කැමැත්ත පළකිරීම නිසා එම ආයුධ සොයා ගැනීමට සැකකරු සමඟ වේයන්ගොඩ ප්‍රදේශයට යෑමට පොලිස් කණ්ඩායම් දෙකක් සූදානම් වූහ.

ඉන් එක් කණ්ඩායමකට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මකීර්ති , පොලිස් පරීක්ෂක  අජිත්
සේනානායක හා කොස්තාපල් අමිල  (39088) අයත් වූහ.  එම කැබ්රිය පදවන ලද්දේ කොස්තාපල්
සංජීව (9055) ය. අනෙක් වාහනයේ පොලිස් පරීක්ෂක පතිරාජසූරිය, සැරයන් මංජුල හා කොස්තාපල්වරුන් වන ජයසිංහ (48914) හා මුණසිංහ (73390) යන අය වූහ.

ස්ථානාධිපති ධර්මකීර්ති කැබ්රියේ ඉදිරිපස සිටි අතර පොලිස් පරීක්ෂක අජිත් සේනානායක පිටුපස අසුනේ සිටියේ සැකකරු මැදිකරගෙනය.  අසුනේ එහා කෙළවරේ කොස්තාපල් අමිල සිටියේය. අමිලත් පොලිස් පරීක්ෂක සේනානායකත් සිය ගිනිඅවි ඉනේ පිටුපස රඳවාගෙන සිටියහ.

“අපි වේයන්ගොඩ ගිහින් නිශාන්ත කියපු විදිහට හංගලා තියෙන බඩු ටිකක් හොයා ගත්තා.  එතැන පිටරටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකකුත් ජෙලග්නයිට් කූරකුත්, ඩෙටනේටර් නූලකුත් තිබුණා.  අපි ඒවා අපේ භාරයට ගත්තා”

“පස්සේ අපි ඇහැව්වා කෝ උඹ සුනන්දව කපලා දාපු කඩු දෙක කියලා. ඒක තියෙනවා. ඒකත් පෙන්නන්නම් කියලා ටික දුරටක් යද්දි මිනිහා මාංචු පිටින්ම අපේ වාහනයේ පදවාගෙන යන සංජීවගේ බෙල්ලෙ එල්ලුණා.  මමත් අමිලත් සැකකරුව ඇදලා ගන්න දැඩි උත්සාහයක් ගත්තා. රියැදුරා ගොර ගොර ගෑවා.

බෙල්ල තදකරගෙන හිටිය හින්දා කැබ් එකත් පාර පුරා ගියා. හතර වටේම කළුවර. පාන්දර 3.30ට
විතර ඇති.  අපි කොච්චර උත්සාහ කළත් සැකකරු ඇදලා ගන්න බැරිවුණා.  ඒත් එක්කම තමයි අමිල
රාලහාමි වෙඩි තියලා තිබුණේ.  කැබ් එක පාරෙන් ඉවතට පැන්නා. සැකකාරයා වෙඩි කාගෙන කැබ්
එකෙන් පැන්නාම තවත් වෙඩිල්ලක් පත්තු වුණා.

අපේ රාලහාමිට තුවාලයි. අපි වෙඩි වැදිලා හිටිය සැකකරුව හොස්පිට්ල් එකට අරගෙන යන්න කියලා අපේ රාලහාමිව ගම්පහ රෝහලට අරගෙන ගියා. ඒත් එක්කම සිද්ධිය එස්.එස්.පී. මහත්තයාටත් දැනුම් දුන්නා.”

පොලිස් පරීක්ෂක සේනානායක මහතා සැකකරුට වෙඩි වැදුණු අයුරු විස්තර කළේ එලෙසය. වෙඩි වැදී
තුවාල ලත් සැකකරු රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්වී සිටියේය. ඉන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයට ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා ඇතුළු ඉහළ නිලධාරීහු පැමිණියහ. ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සැකකරු මිය යන්නට පෙර කළ පාපොච්චාරණයට අනුව ඔහු
විසින් කැලෑබද ප්‍රදේශයකට විසිකර දමා තිබූ සුනන්දට පහරදීමට උපයෝගි කරගත් තියුණු කඩු දෙකද
නිලධාරීහු හොයා ගත්හ.

පොලිස් වෙඩි පහරින් බ්‍රැවන්වත්තේ නිශාන්ත මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ ප්‍රදේශය පුරාම
ළැව්ගින්නක් සේ පැතිර ගියේය.  බ්‍රැවන්වත්ත මාලිගාතැන්න හා ඒ අවට බොහෝ පිරිස් සිද්ධිය අසා
දැඩි සතුටට පත්ව රතිඤ්ඤා පත්තුකොට ප්‍රීතිඝෝෂා කළහ. ඒ නිශාන්ත ගමටද එපා වූ පුද්ගලයකු නිසා විය යුතුය.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් හා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු නිශාන්තගේ සිරුර ඥාතීන්ට භාරදීමට පොලිසිය කටයුතු කළේය.

කෙසේ වෙතත් සුනන්දට පහරදීමට නිශාන්ත සමඟ පැමිණි රුවන් මල්ලි තවමත් පොලිසිය අත්අඩංගුවට ගෙන නැත. ඔහු තවමත් නිදැල්ලේය. එහෙත් පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකය පවසන්නේ සුනන්දගේ පහරදීමට නිශාන්ත සමඟ පැමිණි පුද්ගලයා රුවන් නොව වෙන අයකු බවය.  පොලිසිය නොමඟයවන්නට ඔහු ව්‍යාජ නමක් ලබාදී ඇති බව නිලධාරීන්ගේ සැකයයි. එහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට විමර්ශනයක් සිදුකෙරෙනු ඇත.

පොලිස් වෙඩි පහරින් මියගිය නිශාන්ත කුමාරසිරිගේ අවසන් කටයුතු පසුගියදා ඒ අවට පිරිසගේ
සහභාගිත්වයෙන් සිදුකෙරිණි. බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී,  යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත බස්නාහිර උතුර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර

පොලිස් අධිකාරි ඕ.කේ.ටී. නානායක්කාර මහතාගේ මෙහෙයවීම යටතේ එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති ප්‍රමුඛ පොලිස් පරීක්ෂක අජිත් සේනානායක, පොලිස් පරීක්ෂක පතිරාජසූරිය, උප පොලිස් පරීක්ෂක කපුරු බණ්ඩාර, සැරයන් මංජුල (41291),  කොස්තාපල්වරුන් වන ජයසිංහ (48914),  අමිල (39088), මුණසිංහ (73390) , ගයාන් (94813) හා සංජීව (9055) යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශනයට එක්ව සිටියහ.

කීර්ති මෙන්ඩිස් (මව්බිම)