අත්තනගල්ල කොට්ඨාසයේ කොරෝනා වයිරසය ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් හුදෙකලා කොට ඇති තිහාරිය ග්‍රාම ස්වා වසම් දෙකක් මූලික කරගෙන පෙරේදා (05) පී.සී.ආර්.  පරීක්ණ 500ක් සඳහා සාම්පල ලබා ගැනීමට  ගියත්  ඒ සඳහා ඉදිරිපත්  වී ඇත්තේ හැට දෙදෙනෙකු බවත් එයිනුත් සාම්පල ලබාදීමට එම ප්‍රදේශයේ පදිංචිකරුවන්  28 දෙනෙකු පමණක් පැමිණි බවත් අනෙක් පිරි්ස  පිට ගම්මානවල අය බව අතනගල්ල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



තිහාරිය ප්‍රදේශයේ ආසාදිතයන් 109 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර තවත් ආසාදිතයෙකු මියගොස් ඇත.  මේ තත්වය යටතේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිර්දේශ මත තිහාරියේ ග්‍රාම සේවා වසම් දෙකක් මේ වන විට හුදෙකලා කොට ඇත.  අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වසන්තා රණසිංහ මහත්මියගේ උපදෙස් පරිදි එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් පෙරේදා (05) පී.සී.ආර්. පරික්ෂණ 500 ක් සඳහා  තිහාරියේ ස්ථාන දෙකකදී සාම්පල ලබා ගැනීම පෙරවරු 10 ට ආරම්භ කළහ.


මේ අනුව තිහාරිය ගොඩැල්ල මහ පල්ලිය අසල පැවැත්වූ සාම්පල ලබාගැනීමේ  මධ්‍යස්ථානයට සාම්පල ලබාදීම සඳහා පැමිණ ඇත්තේ 43 දෙනෙකු වන අතර එයින් 18 දෙනෙක්ම වෙනත් පිට ගම්මානවල පදිංචි අය වන අතර තිහාරිය නුවර පාර ආසන්නයේ පැවැත්වූ සාම්පල ලබා ගැනීමේ මධ්‍යස්ථානයට සාම්පල ලබා දීම සඳහා පැමිණ ඇත්තේ 19 දෙනකු පමණි.   සාම්පල ලබා දීමට ඉතාමත්ම සුළු පිරිසක් පැමිණීම පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු  දෙමින් අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය   නිලධාරිනි වසන්තා රණසිංහ මහත්මිය කියා  සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් මගින් ජනතාව දැනුම්වත් කොට තිබූ බවය.  සාම්පල ලබා ගැනීමට බලෙන් ජනතාව ගෙන ඒමට හැකියාවක් නැති නමුත් මේ තත්වය ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ කාර්යාලයට දන්වා යවන බවද ඒ මහත්මිය කීවාය.

 -ආනන්ද ඉ. ජයකොඩි-