සිංහරාජ වනාන්තරයට අයත් කලුකන්දාව රක්ෂිතය  කොටසේ කිලෝ මීටර් 04ක් පමණ ඇතුළත ප්‍රදේශයක,  හොර රහස් නිවසක් ඉදිකරමින් සිටී බව කියන තිදෙනකු ඉකුත් (12) දින සවස අත්අඩංගුවට ගත් බව අගලවත්ත අඩවි වන නිලධාරි ජගත් කහටපිටිය මහතා පැවැසීය.   මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර සහ  බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි. අගලවත්ත අඩවි වන නිලධාරි කාර්යාලයට  ලැබුණු තොරතුරක් අනුව කළුතර දිසා වන නිලධාරි එම්.කේ.සී. cයකොඩි මහතාගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ අගලවත්ත අඩවි වන නිලධාරි ජගත් කහටපිටිය,
මොරපිටිය බීට්ටු වන නිලධාරි එන්.පී.පී. කුසුම්සිරි, මෝල්කාව බීට්ටු වන නිලධාරි ක්‍රිෂාන්ත ද සිල්වා, සහකාර වන ක්ෂේත්‍ර නිලධාරිනී දීපිකා සමන්මලී යන මහත්ම මහත්මීහු වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කලුකන්දාව රක්ෂිතය කොටසේ ඝන වනාන්තරය සහිත ප්‍රදේශයක, රක්ෂිතයෙන්ම කපා ගන්නා ලද දැව දඬු උපයෝගී කරගනිමින් මෙම නිවෙස ඉදිකරමින් සිටි බව ද , ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන විශාල ප්‍රමාණයේ මිල්ලගසක් ද කපා මේ සඳහා  යොදා ගෙන ඇතැයි ද අඩවි වන නිලධාරිවරයා පැවැසීය. අත්අඩංගුවට ගත් කාන්තාව කාලයකට පෙර බදුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයකු බවට හඳුනාගෙන ඇතැයි ද, වනාන්තරය මැද මෙසේ හොර රහසේ නිවෙසක් ඉදි කිරීම ගැටලු සහගත කරුණක් බව ද අඩවි වන නිලධාරිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.  එමෙන්ම ආසියාවේ ලස්සනම කොටියා ලෙස සැලකෙන, ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ පැන්තරා පාඩරස් කොටියා නම් වර්ගයේ කොටි තිදෙනකු මෙම කැලෑව ප්‍රදේශයේ සිටින බවට වාර්තා වී ඇති බවත්, මෙයට මාස හත අටකට පෙර  මෙම කොටියකු විසින් ගෝනකු දඩයම් කිරීමට  පොරබදන අයුරු ප්‍රදේශවාසියකු දැක ඇති බවත් කහටපිටිය මහතා පැවැසීය.

මෙම වැටලීමේදී සැකකරුවන් සමඟ නිවස ඉදි කිරීම සඳහා භාවිත කළ ආයුධ ඇතුළු උපකරණ ද, අඩවි වන නිලධාරි කාර්යාලය සිය බාරයට ගෙනත් ඇති අතර, පවතින කොරෝනා තත්වයට  හේතුවෙන් ඇප බැඳුම්කර මත සැකකරුවන් මුදා හැර ඇත. රක්ෂිතයක් මැද මෙසේ නිවසක් ඉදි කිරීමට  හේතුව කුමක්දැයි සොයා විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බව අඩවි වන නිලධාරි ජගත් කහටපිටිය මහතා පැවැසීය.


-ප්‍රේමතිලක පෙරමුණ-