රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ 20 දෙනා අතරින් වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව 13 වනදා තහවුරුවූ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට එදින රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී තිබුණි. 
ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය. මේ නිසා ඔවුන්ට නැවත හැරී පිටතට යන්නට සිදුවිය.
කොරෝනා රෝගය හා නිරෝධායනයවීමේ අවශ්‍යතාව ගැන මාධ්‍ය ඔස්සේ නිතර උපදෙස් සපයන පුද්ගලයා නිවසේ 
සාද පැවැත්වීම මෙන්ම තමන්ට රෝගය වැළඳුණ අවස්ථාවේ නිරෝධායනයෙන් මගහැරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විමතියට පත්ව තිබූ අතර ඒ ගැන මාධ්‍ය වෙතද තොරතුරු දන්වා සිටියහ.
 
අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව තිබේ. පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා ඇති අතර කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙලිව තිබුණි.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු කළ දැනුම්දීම අනුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට යාමට උත්සාහ කර තිබුණි.
 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව තමන්ව මගහැර එළවා දැමීමක් සිදු කර ඇති බවට කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ.
ඇය ප්‍රකාශ කර තිබුනේ නැවත ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

මේ අතර තමන්ව නිරෝධායනයට ලක්කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිවසට පැමිණි මොහොතේ තමන් රත්නපුරය බලා ගොස් සිටි බවත් මේ වනවිට තමන් යළි නිවසට පැමිණ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඊයේ රාත්‍රී මාධ්‍ය වෙත දන්වා තිබුණි. ඔහු මෙසේ කියා ඇත.

"PHI මහත්තයා එන වෙලාවේ මම කොළඹින් පිට තමයි ගිහිල්ලා හිටියේ. අපේ ගෙදර මෙහෙකරුවා මාස 6කින්වත් ගෙදර ගිහින් තිබුණේ නෑ. ඒ පුද්ගලයාව බස් රථයකින් ගෙදර යවපුවාම යම්කිසි විදියකින් රෝගය පැතිරීමට අවදානමක් තිබෙන නිසා මම මගේ වාහනයෙන් රත්නපුරට ගිහින් ඇරලවලා ආවා. ඉතිං ඒ අතරතුර තමයි මේ කියන PHI මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සෙ දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ගියේ මගෙ වාහනයෙන්මයි. මග රැඳීසිටීමක් සිදුකරලා නෑ. හෙට (15) උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවා කිව්වා. එතෙක් මම ගෙදර ස්වයං නිරෝධායනය වෙලා ඉන්නවා"