'මිරිදිය ටින් මාළු’ දේශීය වෙළෙඳපළ වෙත හඳුන්වාදීමට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාතයංශය සැලසුම් කර තිබේ.   ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙන්ම දේශීය ටින්මාළු කර්මාන්තයද නඟා සිටුවීමේ අරමුණින් ගෙන ඇති  මෙම තීරණය සඳහා දේශීය ටින්මාළු සමාගම්වල එකඟතාව පළව ඇති බව රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 
ඒ අනුව රට තුළ පිහිටි මිරිදිය ජලාශ වෙතින් ලබා ගන්නා මසුන් දේශීය සමාගම් හරහා ටින්කර දේශීය වෙළෙඳපළ වෙත සැපයීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.



මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,  බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය  කංචන විජේසේකර සහ එම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, ඒ සඳහා ප්‍රධාන පෙළේ දේශීය ටින් මාළු සමාගම් 06ක් එක්ව තිබිණි.  ඒ අ නුව මෙම කර්මාන්තය නඟා සිටුවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ඇතුළු කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.  එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිෂ්පාදන ආනයනය අවම කර දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීම රජයේ අරමුණ වන බවයි.


-නිදර්ශනී වික්‍රමසිංහ-