රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඉකුත් සෙනසුරාදා (23) රාත්‍රියේ කැකිරාව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලටත්, එතැනින් කුරුණෑගල ශික්ෂණ රෝහලටත් මාරු කර යැවීමෙන් අනතුරුව මියගිය කාන්තාව කොරෝනා රෝගියකු බව තහවුරු වී තිබේ.  පෙරේදා (24) මෙම මරණය සිදුවී තිබිණි.  කාගම - හිරිපිටියාගම මාර්ගයේ පහත වෙම්බුව 
ප්‍රදේශයේදී මෝටර් රථයක හැපී සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය කාගම, යාය 5, නිවාස දහය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි මෙම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පෙර කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයෙන් ඇය කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇත.


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කැකිරාව මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ජයන්ත විමල් විජේසූරිය මහතා පැවැසුවේ, ඇය කොරෝනා රෝගියකු බව ඊයේ (25) පෙරවරුවේ දැනගත්  වහාම ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දෙදෙනා සහ හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනාත් සුළු  සේවකයන් හත්දෙනකුත් නිරෝධායනය කිරීමට කඩිනමින් පියවර ගත් බවයි. ඊට අමතරව ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ හදිසි ප්‍රතිකාර ඒකකය ද පැය කිහිපයක් වසා දමා ජීවානුහරණය කර නැවත විවෘත කිරීමට පියවර ගත් බව කී කැකිරාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා, දඹුල්ල මූලික රෝහලත්, කුරුණෑගල ශික්‍ෂණ රෝහලත් මේ ආකාරයටම කටයුතු කළ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බව ද කීය.


-අතුල බණ්ඩාර-