කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් එක කොටසක් හෝ දේශීය හෝ ජාත්‍යන්තර  ආයෝජකයෙකුට ලබාදීමට කටයුතු කළහොත් ඒ මොහොතේ සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.


වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ වී මෙම තීන්දුව ගත් බවත්, මේ අනුව පළමු ක්‍රියාමාර්ගය ලෙස මුලින්ම අකුරට වැඩබිමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කර තිබෙන බවත් එම සංගමයේ සම කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා සඳහන් කළේය.

මීට අමතරව නැගෙනහිර පර්යන්තය සුරක්ෂිත කර ගැනීමට මහා සංඝරත්නය හා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වෘත්තීය සමිති ඒකාබද්ධ කරගෙන පිහිටුවා තිබෙන ජාතික සභාවත් ඒ මොහොතේ සිට රට තුළ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුව හා වෘත්තීය සමිති අතර පෙරේදා (16දා) දිනයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බවත්, එහෙත් කමිටුවේ සියලුම සාමාජිකයන් නොපැමිණි නිසා එම සාකච්ඡාව එළඹෙන 22වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අනුව නැගෙනහිර පර්යන්තයේ කටයුතු සීයට සීයක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කළ යුතු බවට හා පර්යන්තය අදියරෙන් අදියර දියුණු කරන ආකාරය පිළිබඳ වෘත්තිය සමිති විසින් යෝජනාවලියක් සකස් කර තිබෙන බවත්, එම යෝජනාවලිය එළඹෙන 22 වැනිදා භාරදීමට කටයුතු කරන බවත් සංජය කුමාර වැලිගම මහතා පවසා සිටියේය.

ආයෝජකයන්ට 49%ක් හා වරාය අධිකාරියට 51%ක් යන සංකල්පය මත වෘත්තීය සමිතිවලින් අදහස් හා යෝජනා ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීම් කර තිබෙන බවත්, එහෙත් වෘත්තීය සමිති යෝජනා සිදු කරන්නේ නැගෙනහිර පර්යන්තය සීයට සීයක් වරාය අධිකාරිය සතුවන ආකාරයට බවත් ඒ මහතා සඳහන් කළේය. මෙම යෝජනාවලියට විරුද්ධව කටයුතු කළහොත් හෝ ඊට පෙර නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් කොටසක් හෝ වෙනත් පාර්ශවයකට පැවරීමට කටයුතු කළහොත් ඒ මොහොතේ සිටම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති ඒකමතිකව තීරණයක් ගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
- ඉන්දික හේවාවිතාරණ -