බණ්ඩාරගම පොලිස් වසමේ අටුලුගම ප්‍රදේශයේ ස්වකීය රාජකාරිය ඉටු කිරීමට ගිය මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් දෙදෙනකුගේ හා තවත් සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කරමින්
එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ මුහුණට කෙළ ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුට වසර හයක සිරදඬුවමක් හා රුපියල් දස දහසක දඩයක් පානදුර අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා ඊයේ (21දා) නියම කළේය.


අටුලුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 56 හැවිරිදි ෆකීර් මොහොමඩ් මොහොමඩ් අමීර් නමැති පුද්ගලයකුට
අධිකරණයෙන් එසේ දඬුවම් නියම කෙරිණි.

කෙළ පහර ලත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා අනෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු සෙසු
සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් ලක්ෂ 04ක වන්දියක් ගෙවන ලෙසද
මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

එම ලක්ෂ හතරක වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඉහත කී දඬුවමට අමතරව එක් චෝදනාවකට
මාස 2 බැගින් ඔහුට තවත් අමතර වසර දෙකක සිරදඬුවමක් ලබාදෙන ලෙසද අධිකරණයෙන් නියම කෙරිණි.


සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම, නිරෝධායන නීතීන්ට අවනත නොවීම හා රාජ්‍ය
නිලධාරියකුගේ අණට අවනත නොවීම ඇතුළු චෝදනා අටක් යටතේ බණ්ඩාරගම පොලිසිය මඟින් විත්තිකරුට
එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණු අතර ඉන් චෝදනා තුනකට වැරැදිකරු කෙරුණු විත්තිකරුට එක්
චෝදනාවකට වසර දෙක බැගින් එසේ සිරදඬුවම් නියම කෙරිණි.

කොවිඩ් වයිරසය ආසාදිතව සිටි විත්තිකාර පුද්ගලයාට ප්‍රතිකාර ලබාදීමට රැගෙන යෑම සඳහා ඉහත කී
සෞඛ්‍ය සේවා නිලධාරීන් පිරිස ඉකුත් දෙසැම්බර් මස 02දා ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේදී ප්‍රතිකාර
සඳහා රැගෙන යෑමට විරෝධය පාමින් ඔහු එසේ නිරෝධායන නීති කඩකරමින් හැසිරී ඇති බවද අධිකරණයෙන්
අනාවරණය කෙරිණි.

මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබා පැමිණීමෙන් පසුව බණ්ඩාරගම පොලිසිය මඟින් ඔහුට එරෙහිව අධිකරණය
හමුවේ නඩු පවරා තිබිණි.

විත්තිකාර පුද්ගලයා මීට පෙර අවස්ථාවලදීද මේ ආකාරයෙන් කටයුතු කර ඇති බව අධිකරණයේදී අනාවරණය
කෙරුණු අතර ඒ පිළිබඳවද අවධානය යොමු කරමින් මහෙස්ත්‍රාත්වරයා ඉහත කී දඬුවම ලබාදුන්නේය.

අධිකරණය මඟින් ලබාදුන් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, සිය රාජකාරි කටයුතුවල නියැළෙන සෞඛ්‍ය සේවා නිලධාරීන්
ඇතුළු ඒහා සම්බන්ධ සියලු නිලධාරීන්ට සෑම දෙනාම සහාය දැක්විය යුතු බවත් ඔවුන් එසේ සේවය කරන්නේ
මහජන යහපත සඳහා බවත්ය.

එම රාජකාරින්ට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදීද උපරිම දඬුවම් ලබාදෙන බව පැවැසූ ඒ
මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙය ඓතිහාසික නඩු තීන්දුවක් බවය. 


කුමුදු උපුල් ශාන්ත, චාමර අමරසූරිය, කොළඹ - එම්. සී. පෙරේරා