දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම පිළිබඳව දැඩි දුකක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පිළිබඳ දැඩි කලකිරීමක් ඇති වූ බවයි. එංගලන්තය සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පරාජයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

"අපි දිනක් තිස්සේ සටන් කරල, කරල සිවුවැනි දිනය වෙනකොට හොඳ තත්වයක හිටියා. නමුත් පැය දෙකහමාරක කාලයක් තුළදී ඒ ඔක්කොම වතුරෙ ගියා. ඒක දුර්වල පිතිහරඹයක්, ඒක ගැන දැන් මම ක්‍රීඩකයන් සමගින් කතා කරනවා. අපි ක්‍රීඩාවක ආධිපත්‍ය ලබා ගන්නකොට අනෙක් පක්ෂය යටත් කරගන්න අපිට හැකි විය යුතුයි. නමුත් අපි ඒක කළේ නෑ. අපිට මේ වගේ කඩා වැටීම් එක්ක කණ්ඩායමක් විදිහට සටන් කරන්න බැරුව යනවා.”යැයි හෙතෙම පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට  පිළිතුරු දුන් මිකී ආතර්,


"මම පැරදීමට නිදහසට කාරණා කියන්නෙ නෑ. අපි හොඳින් පසුගිය කාලයේදී ගොඩනැගුණා. එල්.පී.එල්. තරගාවලිය වගේම දකුණු අප්‍රිකානු සංචාරයේදීත්. නමුත් මෙම තරගය දෙවැනි ඉනිමේදී අපි පීඩනය හමුවේ ක්‍රීඩා කරපු විලාසය පිළිබඳ දැඩි කලකිරීමක් තිබෙනවා. අපි පුහුණු වීම් කරද්දී ඉතා අමාරු තත්ත්වයන්ට මුහුණ දීල තමයි පුහුණුවීම් සිදු කරන්නේ. පිතිකරණය තමයි ටෙස්ට් තරගයකදී තරඟයක් ආරක්ෂා කරන්න වැදගත් වෙන්නේ. නමුත් අපේ පිතිකරණය සමත් වුණේ නෑ තරගය ආරක්ෂා කරන්න.

අද (‍පෙර්දා) උදේ අපේ තරග සැලසුම වුණේ පීඩනය යටතේ පන්දුවට පහරදීලා, තේ පානය වෙනකන් ක්‍රීඩා කරලා, එංගලන්තයට හොඳ ඉලක්කයක් ලබා දෙන්න පුළුවන් මට්ටමට එන්න. එතකොට අපිට හෙට දිනයේදී ජයග්‍රහණයකට යන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළා. අද උදෑසනම අපේ සැලැස්ම වුණේ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී වගේ පීඩනය අවශෝෂණය කරගෙන පන්දුවට පහරදීම , නමුත් ඒක කොහේදී හරී වැරදුනා.”යැයි හෙතෙම මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය කණ්ඩායම ලෝක මට්ටමට රැගෙන ඒම බවද ඔහු මෙහිදී පැවසීය.

"මට අවශ්‍ය කණ්ඩායම ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ තුනෙන්ම හොඳ මට්ටමකට ගේන්න. ඒවගේම හැම ලෝක කුසලානයකටම හොදින් ක්‍රීඩා කිරීමේ මට්ටමකට ගේන්න. අපි ටෙස්ට් තරගයක් ජයග්‍රහණයක් කළොත් මාධ්‍යවලින් කරන විවේචන අවශ්‍ය වෙන්නේ නෑ.” යනුවෙන් පැවසීය.

මෙහිදී දෙවැනි තරගයේදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීම සම්බන්ධයෙන්ද මිකී ආතර්ගේ දැඩි  පැසසුමට ලක්විය.

"මම ඉතාම සතුටු වෙනවා ලසිත් ඇඹුල්දෙණිය පිළිබඳව. ඔහු ඉතාම දක්ෂ පන්දු යවන්නෙක්, මේ තරගයේදී ඔහු ඉතා විශාල ලෙස ඔහුගේ සේවය ලබා දුන්නා. ඔහුට තෑග්ගක් ලැබිල තියෙනවා හොදින් පන්දුව දඟ කවන්න. ඔහු අනාගතයේදී ඉතා හොඳ හා විශේෂිත දඟපන්දු යවන්නෙකු වනවාට නොඅනුමානයි." යනුවෙන් මීකී ආතර් මෙහිදී පැවසුවේය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන කොදෙව් තරග සංචාරය පිළිබඳ අදහස් දැක්වූ මීකී ආතර්,


"ඇත්තටම මෙම තරගාවලීයේදී අපිට සුබදායක දේවල් කිහිපයක්ම දැක ගන්නට ලැබුණා. අපිට පේනවා දැන් දැන් ක්‍රීඩකයන්ගේ වර්ධනයක්, මේක මම පුහුණුකරු ලෙසින් ක්‍රියා කරන තෙවැනි ටෙස්ට් තරගාවලියයි,දැනට මම කණ්ඩායමත් එක්ක නිතරම වැඩ කරනවා. අපේ කණ්ඩායම ගත්තොත් ඔවුන්ගේ පිතිකරණය හොඳයි. අවාසනාවකට ආබාධ තත්ත්වයන් කිහිපයක් ක්‍රීඩකයයින්ට ආවා. නමුත් තිරිමාන්න පළමු තරගයේදී ලබා ගත්ත ශතකයත් ඇන්ජලෝ දෙවැනි තරගයේදී ලබා ගත්ත ශතකයත්, ඉතා විශිෂ්ටයි. ඒ වගේම ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත්, අපි අපගේ වේගපන්දු බල ඇණියත් ගොඩ නංවන්න ගොඩක් මහන්සි වෙනවා. අපිට හොඳ වේගපන්දු බල ඇණියක් ඉන්නවා. අපිට ඉතා හොඳ වේගපන්දු යවන්නන් 6දෙනෙක් ඉන්නවා. ඒවගේම දඟපන්දු යවන්නන් ගත්තත් එහෙමයි. අපිට තියෙන්නේ මේ වගේ දක්ෂතා එකතු කර ගන්න එක විතරයි. මොකද අපි කණ්ඩායමක් විදිහට දිනන්න ඕන නිසා.”යැයි පැවසීය.

මෙහිදී ලසිත් ඇඹුල්දෙණියට අමතරව කණ්ඩායමේ අනෙක් දඟපන්දු බලඇණිය පිළිබඳව අදහස් දැක්වූ මිකී ආතර්,

"වනිඳු හසරංග කියන්නේ හැම අංශයෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු තවමත් ටෙස්ට්වලට හුරුවෙමින් ඉන්නවා. රමේෂ් මෙන්ඩිස් කියන්නෙත් හොඳ ස්ථානවලට පන්දුව පතිත කරන ක්‍රීඩකයෙක්. සඳකැන් වගේම දිල්රුවන් පෙරේරාත් තමන්ගේ තත්වය හොඳින් වර්ධනය කරගත් ක්‍රීඩකයන්.” යැයිද පැවසීය.

"මම ක්‍රීඩකයෙක් ලෙසින් ක්‍රීඩා කරද්දී පරාජය කියන්නේ මට ලොකු දුකක්, නමුත් අසාර්ථකවීම් එක්ක හොඳ දේවල් එනවා. අපි ක්‍රීඩකයන් එක්ක එකතු වෙලා අපිට කොතනද වැරදුන්නේ කියලා හොයන්න ඕන. අපිට හැම තරගයම දින්න බැරිවෙන්න පුළුවන් නමුත් අපි ඉදිරියට යන්න ඕන."මිකී ආතර් අවසන් වශයෙන් පැවසීය.
- ඕෂිත වරකපිටිය -