තමන්ට කොරෝනා වයිරසය අසාදිත වී ඇති බව නොසඟවා ඒ බව මුහුණු පොත හා ට්විටර් පණිවුඩ හරහා
සමාජය දැනුවත් කළ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් ජනතා

නියෝජිතයන් පිළිබඳව තම සංගමයට දැඩි ආඩම්බරයක් ඇති වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ
සංගමයේ ලේකම් මහෙන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

මීට පෙර ඒ ආකාරයට කොරෝනා වයිරසය ආසාදනය වූ ඇතැම් ජනතා නියෝජිතයන් එම වයිරසය ආසාදනය
වීම හේතුවෙන් තමන්ට ලජ්ජාවක් ඇති වේ යැයි සිතා ඒ බව සඟවා රහසිගතව පෞද්ගලික රෝහල්වලට ගොස්
ප්‍රතිකාර ගෙන ඇති බව තම සංගමය දන්නා බවද ඒ මහතා පැවැසීය.

ජනතා නියෝජිතයන් ආදර්ශවත්ව කටයුතු කළහොත් ඔවුන්ගේ අනුගාමිකයනුත් ඒ ආකාරයට කටයුතු කිරීමට
පෙලඹෙන බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මී පැණි පසුපස, මළමිනී පසුපස හා එන්නත්
පසුපස නොයා සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අනුව ජනතා නියෝජිතයන් ඇතුළු සියලුදෙනා කටයුතු
කරන්නේ නම් මෙම වයිරසයෙන් බේරීමට හැකියාව ඇති බවයි.