රුපියල් කෝටි 130කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය කිලෝ 210ක ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින 'කොණ්ඩ රංජි" නමැත්තා බවට හෙළිවී තිබේ.

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (04දා) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 122ක ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව සිදු කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රැපියල් කෝටි එකසිය තිහක් පමණ වන බවට වාර්තාවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


මේ අනුව මෑත කාලයේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවත්, මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවේ හිමිකරු, යාත්‍රාව පැදවූ පුද්ගලයා හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම සැකකරුවන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර දින 07ක රැඳවුම් නියෝග ලබාගන්නා බවත්, මෙම මන්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ දේශීය විදේශීය පුද්ගලයන් හඳුනාගැනීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙන්වීමට කටයුතු කළ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'කොණ්ඩ රංජි" හෙවත් රංජිත් කුමාර නමැති කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට හඳුනාගෙන තිබෙන බවත්, ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු බවත් හෙතෙම පවසා සිටියේය.


මීගමුව කොට්ඨාස අපරාධ ඒකකය මෙම තොරතුරු ලබාගෙන මාසයකට අධික කාලයක් ගතවී තිබෙන බවත් මෙම යාත්‍රාවට මත්ද්‍රව්‍ය තොගය ලබාදී තිබෙන්නේ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රාකළ මැදපෙරදිග රටක සිට පැමිණි නැවකින් බවට තොරතුරු ලැබී තිබෙන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ පොලීසිය විමර්ශනයක් සිදුකරන බවත්, මුහුදු මගින් රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට අදාළ කටයුතු කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, ජාවාරම් කිරීම මරණීය දඬුවමෙන් දඩුවම් කළ හැකි වරදක් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් අජිත් රෝහණ මහතා පවසා සිටියේය. එසේම දැනට බන්ධනාගාරගතව සිටින කොණ්ඩ රංජි නමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කළ ආකාරය හා ඊට අනුබල දුන් අය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.


- ඉන්දික හේවාවිතාරණ -