බ්‍රිතාන්‍ය තුළ COVID-19 වසංගත තත්වයේ පාලනයක් දක්නට නොලැබුණහොත් එරට වෙත පනවන ලොක්ඩවුන් සීමා කිරීම් වඩාත් දරුණු වනු ඇතැයි අගමැති බොරිස් ජොන්සන් ‍පවසයි. දැනට එරට ජනතාව මෙම වසංගත තත්වය පාලනය සදහා දක්වන දායකත්වය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ. මේ අතර රට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනද එලෙසින්ම පවත්වාගෙන යන බවත් මෙහිදී පවසා ඇත.


එසේම බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිදයාලය සහ AstraZeneca ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව නිපදවූ එන්නත් අතරින් පළමු එන්නත් මාත්‍රා 530,000ක් මේ වනවිටත් බෙදාහැරීම සඳහා සූදානමින් සිටින බවත් අගමැතිවරයා මෙහිදී සදහන් කර ඇත. ඒ අනුව ඉදිරි තුනේදී බ්‍රිතාන්‍යයන් මිලියන ගණනක් එන්නත්කරණයට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර තිබේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය තුළ වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව තවමත් කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතී. එහිදී නව COVID-19 වෛරස ප්‍රභේදයක්ද රට තුළ ව්‍යාප්ත වන අතර, එය වඩා වැඩි සම්ප්‍රේෂණයක් සහිත බවටද අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් ලන්ඩන් නුවර අවට පාසල් විවෘත කිරීම පවා පසුවට කල් දැමීමට සිදුව තිබේ. එසේම දැනට එංගලන්තයේ බොහෝ ප්‍රදේශ තුළ ඉහළම මට්ටමේ ලොක්ඩවුන් සීමාවක් පැනවී ඇති අතර, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි සැල් තවදුරටත් වසා දමා තිබේ. ඒ අනුව අගමැතිවරයා ඉදිරියේදී මෙවැනි සීමා කිරීම්වලට අමතරව, තවත් සීමා කිරීම් රැසක් හඳුන්වාදීමේ සූදානමක පසුවන බව එරට මාධ්‍ය සඳහන් කරයි.