වැල්ලම්පිටියේදී  කොරෝනා ආසාදිතව මියගිය 97 හැවිරිදි පුද්ගලයකුට සාත්තු කළ ඔහුගේ දියණිය  පිළිබඳව තොරතුරු සෙවීමට පොලිස් නිලධාරින් සහ සෞඛ්‍ය නිලධාරින් ඇයගේ නිවසට ගිය අවස්ථාවේ ඇය නිවසේ ඇඳ යට සැගවී සිටියදී ඊයේ (11) සොයාගත් බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.  අනූහත් හැවිරිදි පුද්ගලයා  වැල්ලම්පිටිය කුරුණියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් වසර 3ක පමණ කාලයක සිට එක්තැන්ව සිටි ඔහු ඉකුත් නවවැනිදා නිවසේ දී මියගොස් සිටි බවත් සෞඛ්‍ය අංශ කියයි. මෙම පුද්ගලයා පෙරේදා (10) පී.සී. ආර්. පරික්ෂණයට ලක්කර ඇති අතර ඊයේ (11) ඒ සම්බන්ධයෙන් ලැබුණු වාර්තාව අනුව ඔහු කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ පවසයි.


වසර 3කට අධික කාලයක් තිස්සේ නිවසේ එක්තැන්ව සිටි පුද්ගලයාට කොරෝනා ආසාදිත වූයේ කෙසේ ද යන්න ගැටලුවක් වී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයට දිනපතා සාත්තු කර ඇත්තේ වෙලේවත්ත අධිකාරි මාවතේ පදිංචි ඇයගේ 57 හැවිරිදි දියණිය බවට සෞඛ්‍ය බලධාරින් හෙළි කරගෙන ඇත.  සෞඛ්‍ය නිලධාරින් ඊයේ ඇයගේ ජංගම දුරකතනයට ඇමතුම් ගත්ත ද ඇය එය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක සරත් මල්ලවාරච්චි, කුරුණියාවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂක සාෆීර් යන මහත්වරු පොලිස් නිලධාරීන් සමග ඇගේ නිවසට ගියහ.

 ඔවුන් නිවසට ගිය අවස්ථාවේ එහි පිරිස පවසා ඇත්තේ එම නිවසේ එවැනි කාන්තාවක් නොමැති බවත් මීට පෙර එවැනි කාන්තාවක් සිටි බවත්ය. නිවැසියන්ගේ හැසිරීම  සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත නිලධාරීන් නිවස තුළට පැමිණ පරීක්ෂා කර ඇති අතර නිවසේ සිටි ඇගේ වයස අවුරුදු 3ක පමණ වයසැති මිණිබිරියගෙන් ඇය සම්බන්ධයෙන් විමසීමේදී ආච්චි ඇඳ යට සැඟවී සිටින බවට පැවැසූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම තොරතුරු අනුව සෞඛ්‍ය නිලධාරින් ඇඳ යට පරික්ෂා කිරීමේ දී මෙම කාන්තාව ඇඳ යට සැඟවී සිටියදී සොයාගත් බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග කියයි.

මෙම කාන්තාව පදිංචි නිවසේ ඇයගේ දරුවන් ඇතුළු 25 දෙනකු පමණ පදිංචිව සිටි බවත් ඔවුන් සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරන තෙක් නිවස තුළම නිරෝධායනය කළ බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.  පොලිස් නිලධාරීන්ට බොරු තොරතුරු දීම, නීති විරෝධී ලෙස සැඟවී සිටීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙම කාන්තාවට ඉදිරියේදී නඩු පවරන බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.


-ඉන්දිකා රාමනායක-