නිවසේදී මියගිය පුද්ගලයකු සෞඛ්‍යය නිර්දේශයක් නොමැතිව ආදාහනය කර ඇති අතර අනතුරුව ඔහුගේ බිරිඳට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා  වයිරසය ආසාදනය වීමේ සිද්ධියක් පිළියන්දල
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සහභාගි වූ පිළියන්දල හදිසි මරණ පරික්ෂකවරයා, පිළියන්දල පොලිසියේ සැරයන්වරයකු හා පිළියන්දල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල් ශාලාවක තිදෙනකු (03) දා ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය. 


මෙම සිද්ධිය වාර්තා වන්නේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ, මාම්පේ උතුර මහජන සෞඛ්‍ය පරික්ෂක වසමෙනි.

80 හැවිරිදි පුද්ගලයකු ඉකුත් 29 දා රාත්‍රී මියගොස් ඇති අතර ඒ පිළිබඳව වාර්තා වීමත් සමග පිළියන්දල පොලිසියේ සැරයන්වරයෙක් සහ එම ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂකවරයා මෘත දේහය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

මේ දිනවල පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිවසේ දී මියයන සියලුම මෘතදේහ සම්බන්ධයෙන් රාජකාරිය කිරීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකුගේ නිර්දේශය ලබාගැනීම අනිවාර්ය කර ඇති පසුබිමක මියගිය දිනයේදීම මෘත දේහය ඥාතීන්ට භාර දීමට කටයුතු කර තිබිණි. එදිනම රාත්‍රී මළසිරුර ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන ගොස් සාමාන්‍ය පරිදි එම්බාම් කොට පසුදා ඥාතීන්ට බාර දීමෙන් පසුව ඉකුත්දා 30 සිරුර ආදාහනය කර ඇති බවට ද හෙළිවී තිබේ.

මියගිය පුද්ගලයා මිය යාමට දින පහකට පමණ පෙර වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර එහිදී ලබා ගත් පී.සී.ආර්. පරික්ෂණයකින් වාර්තා වී තිබුණේ ඔහුට වයිරසය ආසාදනය වි නොමැති බවටයි.

මේ පිළිබඳව වාර්තාවීමත් සමඟ අදාළ බල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් එම නිවසට ගොස් මිය ගිය පුද්ගලයාගේ බිරිය ඇතුළු පස් දෙනෙක් වහාම ස්වයං නිරෝධායනයට ලක්කොට ඉකුත් 31දා පී.සී.ආර්. පරීක්ෂණයකට ද ලක්කර ඇත.

එම පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵලය ඉකුත් 03 දා ලැබී තිබූ අතර, ඒ අනුව මියගිය පුද්ගලයාගේ 73 හැවිරිදි බිරියට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර හදිසි මරණ පරික්ෂකවරයා පොලිස් සැරයන්වරයා හා මල්ශාලාවේ තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කරනු ලැබ සිටිති.

අවමංගල්‍ය අවස්ථාවට සහභාගි වූ මහා සංඝරත්නය හා ජනතාව පිළිබඳව ද සොයා බලා සෞඛ්‍ය බලධාරින් වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර නොගතහොත් පිළියන්දල ප්‍රදේශයේ තවත් කොරෝනා අනු පොකුරක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බවද තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.


- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -