නවසීලන්තයෙන් COVID-19 ආසාදිතයකු හමුව ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 56 හැවිරිදි කාන්තාවක් මෙලෙස වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව මාස දෙකකට පසුව නවසීලන්තය තුළ COVID-19 ආසාදිතයකු වාර්තා වූ පළමු වැනි අවස්ථාවද මෙය වෙයි.


විදේශයක සිට පසුගිය දෙසැම්බර් 30දා නවසීලන්තයට පැමිණි ඇය සති දෙකක අනිවාර්ය නිරෝධායනයකටද ලක්කෙරී ඇත. එහෙත් එහිදී දෙවතාවක් සිදුකළ පරීක්ෂණවලදී ඇය වෛරසය ආසාදිත නැති බවට සහතික කෙරී ඇත.

ඇතැම් විට ඇය රඳවා සිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි වෛරසය ආසාදිත අයෙකුගෙන් ඇයට වෛරසය බෝ වෙන්නට ඇතැයි සැක කෙරේ. ඒ අනුව එම පරිශ්‍රයේ සංවාතන පද්ධතිය සහ වායු සමීකරණ පද්ධතිය තුළ වෛරස අංශු රැදී තිබෙන්නේද යන්න පිළිබඳව මේ වනවිට පරික්ෂණ සිදු කෙරෙමින් පවතී. එසේම ඇයගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස 15දෙනෙකු හඳුනාගෙන ඇති බවත් නවසීලන්ත සෞඛ්‍ය අංශ පවසයි.