කොවිඩ් -19 හි පළමු මරණය වාර්තා කළ චීනයේ වුහාන් වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම් වලට ඇතුළුවීමට චීන රජයෙන් මාස 08 ක් තිස්සේ අවහිර කර තිබූ අතර සෞඛ්‍ය ගැටලුවක මූලාරම්භය ගැන පර්යේෂණ ලෝකයටම වැඩදායි වූවත් චීන බලධාරීන්ගේ අත්තනෝමතික හා අතිශය දේශපාලනික ප්‍රතිපත්ති නිසා ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාට පවා මේ ගැන ප්‍රකාශ නිකුත් කරන්නට සිදුවිය. 
අවසානයේ ජාත්‍යන්තර පීඩනය හමුවේ සිය තීරණ වෙනස් කරගත් චීන බලධාරීන් එම අවසරය ප්‍රදානය කරන ලදි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායමකට බ්‍රහස්පතින්දා වුහාන් වෙත පිවිසීමට හැකිවූ බවය.
සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර වුහාන්හි සති දෙකක නිරෝධායනයක් සම්පූර්ණ කළ යුතු විද්‍යාඥයින් 10 දෙනා අනතුරුව වසංගතයේ මුල සොයා තොරතුරු රැස් කරනු ඇත.

මෙම වෛරසය ප්‍රථම වරට මධ්‍යම චීන නගරයක් වන වුහාන් හි 2019 අග භාගයේදී අනාවරණය වූ අතර එතැන් සිට ලොව පුරා විසිරී ගිය බවට සාධක පැවතිණි. වෛරසය නිසා ලෝකයේ මිලියන දෙකකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන ගණනක් ආසාදනය වී ගෝලීය ආර්ථිකය අර්බුදයට ලක්කර තිබේ.

මේ වනවිට චීනයේ උතුරේ මිලියන 20 කට අධික ජනතාවක් අගුලු දමා ඇති අතර එක් පළාතක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.  කොවිඩ් -19 ආසාදිතයින් මාස කිහිපයකින් අවම මට්ටමක පැවතී නැවත ඉහළ යමින් පවතී.
 ආසාදන 138 ක් ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් බ්‍රහස්පතින්දා වාර්තා කරන ලදී. එය පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු දිනක වාර්තාවූ වැඩිම ගණනයි.
කොමියුනිස්ට් බලධාරීන්ගේ ශක්තිමත් නායකත්වයේ ඇඟවුමක් ලෙස චීනය බොහෝ දුරට වසංගතය පාලනය කර ගෙන ඇත්තේ දැඩි අගුලු දැමීම් සහ මහා පරිමාණ පරීක්ෂාවන් මගිනි.