එක්සත් ජනපදයේ ජනපතිවරයෙකුට මුල්ම වතාවට සිය ධූර කාලය තුළදී දෙවතාවක් දෝෂාභියෝගයකට ලක්වීමේ අපකීර්තිය අත්විඳීමට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුව තිබේ. නොවැම්බර් මස  ජනපතිවරණයෙන් පරාජයට පත්වූ ඔහු ලබන ජනවාරි 20 වනදා තෙක් පමණක් තවත් දින 06 කට ඇමරිකාවේ ජනපති ධූරය දරන අතර මෙම දෝෂාභියෝගය එල්ලවූයේ පසුගිය සතියේ කැපිටල් ගොඩනැගිල්ලේ  ඇතිවූ කෝලාහලයේදී “කැරැල්ල උසිගැන්වීම” සම්බන්ධයෙන් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කරන ලද චෝදනාව නිසාය.
මෙම චෝදනාව මත දෝෂාභියෝගය ගෙන එනවාද නැද්ද යන ඡන්ද විසීමේදී 232-197 ලෙස ඡන්ද හිමිවූ අතර  ජනාධිපතිට දෝෂාභියෝගය ගෙන ඒමට ට්‍රම්ප්ට හිතවත් රිපබ්ලිකානුවන් දස දෙනෙක් ඩිමොක්‍රටිකයින් සමඟ එක් වීමද කැපී පෙනෙයි.

මෙම දෝෂාභියෝගය ඉදිරියේදී විභාග වන අතර ට්‍රම්ප්ගේ ජනපති ධූරය අවසන්වූ පසු එය සිදුවනු ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩෙන් ලබන සතියේ නව එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වන තෙක් සෙනෙට් සභාවේ ඔහුගේ නඩු විභාගය සිදු නොවනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
 එක්සත් ජනපද ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප්ය.
රජයේ ආරක්ෂක භටයන් කැපිටල් ගොඩනැගිල්ලේ ඇතුළත හා පිටත සෝදිසියෙන් සිටි අවස්ථාවක තම පරාජය ගැන ප්‍රකාශ කරන අවස්ථාව අවුල් කරලීමට හිතාමතා පාක්ෂිකයින් යෙදවීම ට්‍රම්ප්ට එරෙහි මෙම චෝදනාවයි.
එෆ්බීඅයි ඔත්තු සේවා වාර්තා කළේ බයිඩෙන් ජනපති ලෙස දිවුරුම් දීම අවුල් කරලීමට ඉදිරි දිනවල එක්සත් ජනපද රාජ්‍ය අගනගර 50 ක විරෝධතා ක්‍රියාකාරකම් සැලසුම් කර තිබූ බවකි.
දෝෂාභියෝගය ගෙන ඒම ගැන ඊයේ සාකච්ඡාවට භාජනයවී කොන්ග්‍රසයේ ඡන්ද විමසීමෙන් පසු ට්‍රම්ප් වීඩියෝවක් නිකුත් කරන ලද නමුත් තම දෝෂාභියෝගය ගැන සඳහන් නොකර සාමකාමීව සිටින ලෙස පමණක් ඔහු තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේය. "ප්‍රචණ්ඩත්වයට හා විනාශකාරී ක්‍රියාවන්ට අපේ රටේ තැනක් නැත ... මගේ සැබෑ ආධාරකරුවෙකු කිසි විටෙකත් දේශපාලන ප්‍රචණ්ඩත්වය අනුමත නොකරනු ඇත," ඔහු පැවසීය.