දයාසිරි ජයසේකර ඇමැතිවරයා සහ රවුෆ් හකීම් මන්ත්‍රිවරයා කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමෙන් පසු
ඊයේ වන විට අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ
මහතාද කොවිඩ් ආසාදිතයකු බවට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වෙමින් පවතී. මෙම ආසාදිතයන් තිදෙනාගේ ළඟම ආශ්‍රිතයන් ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනකු ඇතුළු
පාර්ලිමේන්තු සේවකයන් පිරිසක්ද වන බව පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
සීසීටීවී ඇසුරින් රාවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මැතිඇමතිවරු අතර
ලක්ෂ්මන් කිරිඇල්ල,ගයන්ත කරුණාතිලක,තලතා අතුකෝරල,අශෝක් අබේසිංහ,එම් රාධක්‍රිෂ්ණන්,ෆයිසල් කාසීම්,නසීර් අහමඩ්,එච්එම්එම් හාරිස්,එම්එස් තවුෆික්,තිස්ස අත්තනායක, කෙහෙළිය රඹුක්වැල්ල,සී රාසමානික්කම්,කේ.එම් නන්දසේන,ජනක බණ්ඩාර තෙන්නකෝන් හා එම්ඒ සුමන්තිරම් සිටින බව වාර්තාවේ.
පළමු ආශ්‍රිතයින්වූ මොවුන් දැනටමත් නිරෝධායනයට යොමු කර ඇත.


මොවුන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ආගිය තැන් සහ කතා බස් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය
කර ගැනීමට පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. දර්ශන තවදුරටත් අධීක්‍ෂණය කෙරෙමින් පවතින බවද වාර්තා වේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා
කොවිඩ් ආසාදනය වී ඇතැයි තමාට දැනුම් දුන් බව වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු සඳහන් කරයි.

හෙට්ටිගේ මහතා ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති අතර ඔහු සභානායක කාර්යාලයට
ගොස් ඇති බවත් අනතුරුව විධායක භෝජනාගාරය වෙත යෑමේදී හා ආපසු පැමිණීමේදී පාර්ලිමේන්තු
මන්ත්‍රිවරුන් කිහිපදෙනකු සමඟද කතාබහක යෙදී ඇති බව සී.සී.ටී.වී. දර්ශන මඟින් තහවුරු කර ඇතැයි
වේත්‍රධාරිවරයා පවසයි.

සභානායක කාර්යාලයේ තිදෙනකු හෙට්ටිගේ මහතාගේ ළඟම ආශි්‍රතයන් බවට තහවුරුවී ඇති බව නරේන්
ප්‍රනාන්දු සඳහන් කරයි.

හෙට්ටිගේ මහතාගේ ළඟම ආශි්‍රතයන් ලෙස හඳුනාගෙන ඇති මන්ත්‍රිවරුන් සිවුදෙනා අතර ආණ්ඩු  පක්‍ෂයේ
සහ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් සිටින බවද වේත්‍රධාරි විසින් තහවුරු කරන ලදී.

මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ 300 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයට භාජන කිරීමට කටයුතු
යොදා ඇති බව පාර්ලිමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසාදිතයන් බවට තහවුරු වී ඇති ඔවුන් තිදෙනා පාර්ලිමේන්තුවෙන් පිටත ළඟින් ඇසුරු කර ඇති පිරිස් පිළිබඳවද
සොයා බලමින් සිටින බව වාර්තා වේ.

රවුෆ් හකීම් මන්ත්‍රිවරයාගේ ළඟම ආශ්‍රිතයන් 120 දෙනකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට
යොමුකර ඇතැයි වාර්තා වේ.