නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ කිහිපයක් ක්‍රියා විරහිත වී මළසිරුරු නරක් වී ඥාතීන් අපහසුතාවට පත්ව ඇති බව කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා ඊයේ (12) පැවැසීය.


කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික සභා රැස්වීමේදී විදානපතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය වහාම දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමින් මෙසේ කීය.

හිටපු සභාපතිවරයා මෙසේ ද පැවැසීය. “අධිශීතකරණ ක්‍රියා විරහිත වී ඇති බැවින් කුණු වී ඇති මළසිරුරුවල ගඳ ගැසීම හේතුවෙන් ඥාතීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද අපහසුතාවට පත්වෙනවා. ඉකුත් දිනක ගල්අස්හේනේ සිරුරක් කුණු වී ඇති නිසා මුද්‍රා තබන්න වුණා. මේ හේතුවෙන් රෝහල් බලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමග ඉකුත් දිනෙක අර්බුදයක් පවා මතු වුණා. මේ පිළිබඳ සභාව මගින් සෞඛ්‍ය ඇමැතිතුමිය දැනුවත් කරන්නේ නැත්නම් ලොකු විනාශයක් වෙනවා.” යැයි හෙතෙම කීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා මෙසේ පැවැසීය.

“ගැටලුවක් වූ බව පිළිගන්නවා. රෝහලේ තියෙන්නේ අධිශීතකරණ 12යි. මේ දිනවල පවතින කොරෝනා තත්ත්වය නිසා එක ශීතකරණයක මෘතදේහ දෙක බැගින් දමන්න වෙලා. එවිට මෘතදේහ නියමිත උෂ්ණත්වයේ තබාගන්න අපහසුයි. තවත් මෘතදේහ බහාලන අධිශීතකරණ 12ක් ඉල්ලුම් කර තිබෙනවා. එය කඩිනමින් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දීලා තියෙන්නේ.” යනුවෙන් පැවැසීය.


 - සුමිත් ප්‍රේමතිලක -