ප‍්‍රශ්නය – කොවිඩ් හමුවේ රටේ සමස්ත රටවැසියන් වගකීමක් සහිතව කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඔබ පුන පුනා කියද්දී එම වගකීම රැකගන්න ඔබට නොහැකි වී ඇති බව මේ වන විට චෝදනා එල්ල වෙනවා..
 
පිළිතුර – නැහැ.. කිසි ලෙසකවත් මා සතු සමාජ වගකීමෙන් මිදී මම කටයුතු කර නැති බව සහතික කර කියනවා..

ප‍්‍රශ්නය – ඔබ එසේ කීවත් ඔබගේ නිවසේ යම් පිරිසකගේ සහභාගිත්වයෙන් ප‍්‍රිය සාදයක් පවත්වා ඇති බවටත් එහි සිටි වෛද්‍යවරයෙකුට කොවිඩ් රෝගීවී වී ඇති බවටත් වාර්තා පළවුණා.

පිළිතුර – ඇත්තටම එය පාටියක් නෙවෙයි… මගේ වාට්ටුවේ ඒ කියන්නේ ළමා රෝහලේ විසිපස් වැනි වාට්ටුවේ රාජකාරි කළ වෛද්‍යවරයෙකුට අවිස්සාවේල්ල රෝහලට ස්ථාන මාරුවක් ලැබුණා. අපගේ සාමාන්‍ය සම්ප‍්‍රදාය එම වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා ලෙස රෝහලෙන් ස්ථාන මාරුවක් ලබා යන වෛද්‍යවරයාගේ සේවය අගය කරමින් කෑම වේලක් ලබා දෙන එක. ඒක ඉතින් අපේ රටෙත් සාමාන්‍ය සම්ප‍්‍රදාය. අපගේ රෝහල මේ වනවිට කොවිඩ් රෝගීන් ආසාදනය වී ඇති රෝහලක් වීම නිසා රෝහල තුළ කෑම වේලක් ලබාදීමේ හැකියාව නැහැ. ඒ වගේම පවතින තත්ත්වයන් අනුව හෝටලයක වුවත් එය කිරීම සුදුසු නෑ. එම නිසා එම වෛද්‍යවරයා ඇතුළු පවුලේ උදවියටත් තවත් රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකුටත් මගේ නිවසට කැඳවා කෑම වේලකට ආරාධනා කළා.


ඒ අනුව තමයි කැලණිය දිප්පිටිගොඩ මගේ නිවසේ ඔය මහා පාටියක් කියන කෑම වේල ලබා දුන්නේ. එම වෛද්‍යවරයා අපේ ගෙදර ආවත් නැතත් මම ඔහු සමග රෝහලේ එකට වැඩ කරන්නේ. එකට කෑම කන්නේ. එතුමා මොනයම් විදිහකට හෝ රෝගීයකු වූවා නම් ඔහුගේ ආශ‍්‍රිතයෙකු වීම වළක්වන්න බැහැ.

ප‍්‍රශ්නය – නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා පළකර තිබුණේ ඔබ නිවසේ විශාල සාදයක් පැවැත්වූ බවත් ඒ සඳහා බොහෝ පිරිසක් එක්වූ බවයි..

පිළිතුර – එහෙම එකක් නැහැ ..එය ප‍්‍රිය සම්භාෂණයක් නෙමෙයි. මගේ වාට්ටුවෙන් වෙනත් රෝහලකට යන වෛද්‍යවරයෙකුට ලබාදුන් කෑමවේලක් පමණයි. එතුමා රෝගී වී ඇති බව දැනගෙන තිබෙන්නේ දින 8 කට පසුවයි. ඒ අනුව පී. සී. ආර්. පරීක්ෂණය කළ දිනයේ සිට දින දහයක් ආපස්සට ඔහු ගිය ගමන් බිමන් පිළිබඳ විස්තරයක් ඔහු ලබා දී තිබෙනවා. ඒ අනුව තමයි මගේ නිවසේ පැවති කෑම වේල පිළිබඳව දැනුවත් කර තිබෙන්නේ.

ප‍්‍රශ්නය – එම වෛද්‍යවරයා ඔබ නිවසට පැමිණියේ කවදාද?

පිළිතුර – ඔහු ඇතුළු පවුලේ උදවිය සහ අනෙකුත් වෛද්‍යවරුන් පැමිණියේ පසුගිය හත් වැනිදා. එතන පවුල් පහක පමණ විසි දෙනෙක් පමණ හිටියා. එතැන වැඩි බහුතරය අය අපේ ගෙදර ආවත් නැතත් රෝහලේ දී හමුවෙන අයයි. ඒ අයට ලෙඬේ තිබුණා නං ඒ අයව මට කන්ටැක් වෙන එක වළක්වන්න බැහැ. ඒත් එදා කෑමවේල හැදුවෙත් අපේ නෝනා. එහෙම නැතිව කේටරින් එකෙන් ගෙනාවෙත් නෑ. එතැන සංගීතයක්වත් තිබුණේ නැහැ.

ප‍්‍රශ්නය – ඇත්තටම ඔබගේ නිවසට පැමිණි වෛද්‍යවරයකු රෝගීයෙකු යැයි හඳුනා ගැනීමෙන් පසුව ඔබ අතුරුදන් වුණාද ?

පිළිතුර – කිසිම අතුරුදන් වීමක් වුණේ නැහැ. ඔබට ඇමතුමක් නොදී ගෙදරට කවුරුහරි ඇවිත් ඔබ ගෙදර නැත්නම් එය අතුරුදන් වීමක් ලෙස හඳුන්වනවා ද..? අපගේ ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා දහ වැනිදා රාත‍්‍රී 7.30 ට පමණ අපේ ගෙදරට පැමිණ තිබෙනවා. එදා මම අපේ ගෙදර උදව්වට සිටින තැනැත්තාව රැගෙන ඔහුගේ රත්නපුර නිවසට ගිය දවසක්. ඔහු මාස හයකින් ගෙදර ගිහින් තිබුණේ නැහැ. පවතින වාතාවරණය හොඳ නැති නිසා කාගේ කාගේත් ආරක්ෂාවට මම ඔහු සමග මගේ වාහනයෙන් රත්නපුරේ ගියා. මගේ දුරකථනය සවස 6.00 විතර වෙනකන් එක දිගට වැඩ කළා. ඇත්තටම හිටපු තැන යම් දුරකථන සංඥා දෝෂයක් තිබුණා. අපේ නෝනා ඇයගේ අයියලගෙ ගෙදර ළමයි එක්ක ගිහින් ඉඳලා තිබෙනවා. මේ වෙලාවේ තමයි මහජන පරීක්ෂක තුමා අපේ ගෙදරට ඇවිත් තිබෙන්නේ. ගෙදර කවුරුත් නැති නිසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හැරී ගොස් තිබෙන්නේ. ඇත්තටම ඒ වෙනකොට දන්නෙ නැහැ මම ආශ‍්‍රිතයකු බව.

ප‍්‍රශ්නය – ගෙදර ඉබි යතුරු දමා විදුලිය විසන්ධි කර තිබූ බවයි සඳහන් වුණේ..


පිළිතුර – ඒක තනිකරම වරදවා වටහා ගැනීමයි. තාප්පය උස නිසා වාර්තා කරන්න පැමිණි අයට ගෙදර විදුලිය තිබෙනවාද නැද්ද යන්න හරියට පෙනුණ ද දන්නේ නැහැ. ඇත්තටම ප‍්‍රවෘත්තිය පළ කළ ආයතනයේ කවුරුහරි මට ඇමතුමක් දී මෙම සිදුවීම විමසුවා නම් ඇත්ත දැනගන්න තිබුණා. එහෙම නොකර මේ ආකාරයට ප‍්‍රවෘත්ති පළ කිරීම ගැන කනගාටු වෙනවා.

පසුදා ඒ කියන්නේ (14 වැනිදා ) උදේ මම ප‍්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට කතා කළා. එතුමා දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වූ නිසා කෙටි පණිවිඩයක් යොමු කර මම පැවසුවේ ඕනෑම අවස්ථාවක පී. සී. ආර්. පරීක්ෂණයට පෙනී සිටීමට මට හැකියාව ඇති බවයි. එම පණිවිඩය ප‍්‍රතිචාර දක්වමින් ඔහු පී. සී. ආර්. පරීක්ෂණය දින අටත් දහයත් තුළ කිරීම සුදුසු බැවින් එදින තුළ කරමු යැයි ප‍්‍රතිචාර දක්වා තිබුණා.

ඇත්තටම මා සම්බන්ධයෙන් පළ කර තිබුණේ වැරදි ප‍්‍රවෘත්තියක්. එවැනි පුවත් පළ කර වෙනත් විකල්ප වාසි ගන්න කවුරුන් හෝ උත්සාහ කරන බව බොහෝ අයගේ අදහස වෙලා තිබෙනවා. මේ වගේ සාවද්‍ය පුවත් වලට මීට පෙරත් අප මුහුණ දුන්නා. මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අපගේ නීතිඥ මහත්වරුන් සිදුකරයි. නමුත් මේ පිළිබඳ අපේ කිසි කලබලයක් නැහැ.

මෙවැනි පුවත් වලින් අපිව වට්ටවන්න යම් අයකු සිතනවා නම් එය කවදාවත් සිදු වෙන එකක් නැහැ. මම අතුරුදන් වුණා කියන්න හෝ වගකීමක් නැතිව කටයුතු කළා කියන්න යම් සාධක තිබෙන්න ඕන. ඒ අයට මා සමඟ සබඳතා තිබිලත් මේ වගේ පුවත් පළ කිරීම සදාචාරාත්මක නැහැ වගේම සුදුසු නැහැ.

ප‍්‍රශ්නය – ඔබ හිතන්නේ ඔබව ඉලක්ක කොට යම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වනවා කියලද..?

පිළිතුර – අපි මේ වන විට යම් යම් වැඩ ටිකක් කරගෙන යනවා. කොළඹ වරාය සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු කර තිබෙන්නේ. ඒ වගේම විසෙන් තොර ආහාර කිරිපිටි ගැන අපි සටනක් කරනවා. ඒ නිසා අපට නිල සහ නොනිල විරුද්ධවාදීන් පිරිසක් ඉන්නවා. ඇත්තටම අපි ජනප‍්‍රිය මාතෘකා ඔස්සේ ගොඩනැගෙන පිරිසක් නෙවෙයි. අපි කුමන බාධක ආවත් හරි දේ කරන පිරිසක්. ධර්මානුකූලව ජීවත් වෙන්න අපිව එහෙම ලේසියෙන් වට්ටන්න කාටවත් බැහැ.

ප‍්‍රශ්නය – මේ වන විට ඔබ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් ද සිටින්නේ …?

පිළිතුර – ඔව් මම නිවස තුළ ස්වයං නිරෝධායනට ලක් වෙමින් සිටිනවා. ඇත්තටම මම හිතනවා මට රෝගය වැළඳී නැතැයි කියා. ඔබ මෙම සාකච්ඡා ව කරන පහළොස් වැනිදා දවස වන විට ඔහුව සම්බන්ධ වී දින අටක් වෙනවා. නමුත් මේ කිසිදු රෝග ලක්ෂණයක් මට තවම පහල වෙලා නැහැ. මම මනා සිහිබුද්ධියෙන් ඉන්නවා. ඇත්තටම ඔබ අහලා ඇති සාමාන්‍යයෙන් මම ලෙඩ වෙනවා අඩුයි. වසර විසි ගණනක රාජකාරි ජීවිතය තුළ මම එක දවසක් ලෙඩ නිවාඩු දමා නැහැ. මට කොරෝනා හැදෙන්න පුළුවන්. නමුත් මෙම සිදුවීමෙන් කොරෝනා හැදෙන්න ඉඩ කඩක් නැහැ.

පීසීආර් පරීක්ෂණයට මත්තෙන් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කළා. එමගින් කොරෝනා නෙගටිව් බවට මේවන විට තහවරුවී තිබෙනවා.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර (Divaina)
Pix -Dayan Witharana