බේරුවල ධීවර වරායේ නැංගුරම් ලා තිබෙන බහුදින යාත්‍රාවක මුරකරුවකු එම යාත්‍රාව  තුළදීම මියගොස් ඇතැයි බේරුවල පොලීසිය පෙරේදා (09)  පැවසීය. එසේ මියගොස් ඇත්තේ  අංක 57/8 ගනේෂ් පටුමග, සිංහපුර, ත්‍රිකුණාමලය යන ලිපිනයේ පදිංචිව සිටි බේරුවල ධීර වරායේ යාත්‍රා හිමිකරුවකු යටතේ මුරකරු රැකියාවක නියුතුව සිටි, තුවාන් ෆාරුක් කසීර් (65) නමැත්තෙකි.



මියගොස් සිටින තැනැත්තා බේරුවල ධීවර වරායේ ලියාපදිංචි බහුදින යාත්‍රා කිහිපයක හිමිකරුවකු යටතේ වරාය තුළ නැංගුරම් ලා තිබෙන යාත්‍රා මුරකරමින් යාත්‍රාව තුළම ඉවුම් පිහුම් කර ආහාර පාන සකසා ආහාරයට ගෙන එම යාත්‍රාවම නිවහන කරගෙන දිවී ගෙවා ඇත. පෙරේදා (09) දින පෙරවරුවේ යාබද යාත්‍රාවක සේවය කරන්නෙකු දහවල් වන තෙක් මියගොස් සිටි තැනැත්තා නින්දේ පසු වනවා යැයි සිතා කතා කළත් අවදි වී නොමැති බැවින් එම යාත්‍රාවේ ලියන මහත්තයාට දැනුම් දී ඇත.  පසුව ඔහු බේරුවල පොලිසිය සමග පැමිණ කළ පරික්ෂාවේ දී, මුරකරු මියගොස් ඇති බව අනාවරණය වූ බව  පොලීසිය කියයි.


මෘත ශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය  කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා බේරුවල වරායට පැමිණ සිදු කළේය. මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යන ලෙස ද බේරුවල වැඩ බලන පොලිස් ස්ථානාධිපති සනත් කුමාර සහ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරීන්ට (සොකෝ) මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


-තුසිත කුමාරද. සිල්වා-