පෙබරවාරි මාසයේ සිට ඉදිරි මාස හයක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයත මිල ස්ථායීකරණය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ගිවිසුම්වලට එළැඹීමට මේ වනවිට කටයුතු කර ඇතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවැසීය.  වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් මත පාරිභෝගික සේවා  අධිකාරියට නිෂ්පාදකයන්, ආනයනකරුවන් හා සැපැයුම්කරුවන් සමඟ ඉදිරි මිල නිරණය කරමින් ගිවිසුම්වලට එළැඹීමේ හැකියාව පාරිභෝගික ආරක්ෂණ පනතේ 10 වැනි වගන්තිය ප්‍රකාරව පවතින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.



ඇතැමුන් මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විකෘති පුවත් පළකර පාරිභෝගික ජනතාව නොමග යැවීමට උත්සාහ ගන්නා බව කී ඇමැතිවරයා එයින් ජනතාව තුළ අනිසි බියක් ඇතිවිය හැකි බව ද කීවේය.  වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී පෙරේදා (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. බලවත් යැයි හඳුනා ගැනෙන රටවල් පවා මෙම වසංගතයෙන් අවදානම් තත්ත්වයකට පත්ව සිටියදී මෙරට දේශීය වෙළඳපොළ හා සමස්ත ක්‍රියාවලියම මනා කළමනාකරණයකින්  යුතුව හැසිරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය සමත්ව ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.


පසුගිය යහපාලන රජය අසීමාන්තිකව භාණ්ඩ ආනයනය කරමින් කටයුතු කළත්, වත්මන් රජය ගොවීන් හා නිෂ්පාදකයන්ට මුල් තැන ලබාදෙමින් පාරිභෝගිකයාටම ගුණාත්මයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කර ඇතැයි කී ඇමැතිවරයා භාණ්ඩ මිල ස්ථායීකරණ වැඩසටහනත් එවැන්නක් බව කීවේය.


-ඩයනා උදයංගනී-