මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත  (Online) ලොතරැයියක් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම තුළ රුපියල් මිලියන 673ක මහා පරිමාණ මුල්‍යමය අක්‍රමිකතාවක් 2017 වසරේදී සිදුව ඇති බව කෝප් කටුවේදී (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) අනාවරණය වී තිබේ.   එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ අතරමැදියා විසින් උපයන ලද රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදලට ලැබී නොමැති බවයි.  ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත්කොට විධිමත් පරීක්ෂණයක් සිදුකිර්ම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස කෝප් කට්ටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්  මහතා විසින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මියට දැනුම් දී තිබේ.


මීට අමතරව මහපොළ භාරකාර  අරමුදල යටතේ පවතින පාලිත සමාගම්වල සුරැකුම්පත් ගනුදෙනු  තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015 සහ 2016 වර්ෂ තුළදී රුපියල් මිලියන 18ක හා රුපියල් මිලියන 102ක අලාභයක් සිදුව ඇති බව කෝප් කමිටුව අනාවරණය කරගෙන ඇත. එසේම 2017 වර්ෂයේනැෂනල් වෙත් සංස්ථාවේ ආයෝජන උපයෝගී  කොට ගෙන කළ ප්‍රතිමිලදී ගැනීම්වල ගනුදෙනු තුළ රුපියල් මිලියන 13ක අලාභයක් සිදුව ඇති බව සඳහන්ය.ඒ අනුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට මහත් වූ අලාභයක් සිදුව ඇති බව කමිටුව විසින් අදාළ ආයතන වෙත අවධාරණය කර ඇත.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කරණු දක්වමින් අදාළ ආයතනවල නිලධාරීන් කෝප් කමිටුවට පෙන්වා දී ඇත්තේ මෙම ආයතන තවදුරත් පාඩු මත පවාත්වාගෙන යාම අනවශ්‍ය වන බැවින්, ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී ඇති බවයි.  ඒ අනුව නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබාදීමෙන් අනතුරුව එය ඈවර කිරීම ගැටලුවක් නොවන නමුත්, මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව අදාළ ආයතන ඈවර කිරීම නුසුදුසු බව නිලධාරින්ගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස කෝප් කමිටුව පෙන්වා දී ඇත.

එසේම මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටිස් සංස්ථාව මගින් සිදුව ඇති අක්‍රමිකතාව පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව එම ආයතන දෙක කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවන ලෙසට දැනුම් දී ඇති කෝප් කමිටුව,අදාළ අක්‍රමිකතාවය පිළිබඳ නිසි ලෙස නිරීක්ෂණ සිදු කෙරෙන තෙක් ඒවා ඈවර කිරීම ප්‍රමාද කළ යුතු බව නිර්දේශ කර තිබේ.

මහාචාර්ය චරිත හේරත් මහතාගේ  ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අතර, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ ආයෝජන කළමනාකරණය සම්බන්ධව විශේෂ විගණන වාර්තාව මත සහ එම අරමුදලේ වර්තමාන කාර්ය සාධනය පරික්ෂා කිරීම සඳහා විගණකාධිපති  දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්  කරන ලද විශේෂ වාර්තාව එහිදී 
අවධානයට ලක්කර තිබිණ.

ඒ අනුව මහපොළ උසස් අධ්‍යාපන  ශිෂ්‍යත්ව භාර අරමුදල යටතේ ඇති ආයතන 03ක් වෙත කෝප් කමිටුව  සිය නිර්දේශ ලබා දී ඇත. එහිදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්බන්ධ ආයතනයේ (SLIIT)වර්තමාන තත්ත්වය පිළිබඳවද අවධානයට ලක්ව තිබිණි. ඒ අනුව එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණද එම ආයතනය එසේ පැමිණීම නෛතිකව කිරීමට ආයතනය බැදී නොමැති බව ජුලියස් ක්‍රේසි (Julius and Creasy)  ආයතනය මගින් කෝප් කමිටුවට දන්වා එවා ඇති බැවින් කෝප් කටුව ඊට අප්‍රසාදය පළකර ඇත.

කෙසේ වුවද උද්ගතව ඇති තත්වය පිළිබඳව කරුණු නිරාකරණය කිරීමට පළමුකොට ජුලියස් ආයතනය කැඳවිය යුතු බව මෙම රැස්වීමේදී කෝප් කමිටුව තීරණය කර ඇත.  එසේම ශ්‍රී ලංකා තොරතුරු  තාක්ෂණ සම්බන්ධ ආයතනය ජාතික වැදගත්කමකින් යුත් ආයතනයක් වන බැවින් එම ආයතනය සම්බන්ධ සාකච්ඡාවේ දිගුවක් ලෙස අභ්‍යන්තර වාර්තවක් සකස්කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිගමනයකට එළඹීම යෝග්‍ය බව කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.  මීට අමතරව අභ්‍යන්තර  විගණකාධිපතිවරයෙකු හා  ගණකාධිවරයෙකු ආයතනය සතුව  නොමැති බවට අනාවරණය වී ඇති බැවින් කඩිනමින් අදාළ පුරප්පාඩුව පිරවීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

මෙම රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, නලීන් බණ්ඩාර ජයමහ, ප්‍රේමිනාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර් යන මහත්වරුද එක්ව ඇත.


 නිදර්ශනී වික්‍රමසිංහ-