ඉපැරණි වටිනාකමකින් යුත් වී.ඕ.සී. ලාංජනය සහිත පිඟන් දෙකක් විදේශිකයෙකුට රුපියල් කෝටි දහයකට අලෙවි කිරීමට සැරසී මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක නැවතී සිටි චීවරධාරියෙකු ඇතුළු  පුද්ගලයන් හත්දෙනෙකු 
කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුරාවස්තු ජාවාරමක් කිරීම සඳහා පිරිසක් හෝටලයක නැවතී සිටින බවට මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලීසිය එම හෝටලය වටලා සැකකරුවන් ඇතුළු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.  


එම වි.ඕ.සි.භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශිකයෙකු මෙරටට පැමිණෙන තෙක්  එම පිරිස සති 2කට ආසන්න කාලයක් හෝටලයේ නැවතී සිට ඇති අතර, ඊට අදාළ හෝටල් බිල වූ රුපියල් ලක්ෂ 10ක මුදලක් එම විදේශිකයා විසින් ගෙවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .


අත්අඩංගුවට ගත් පුද්ගලයන් කටුවන, හෝමාගම, පන්නිපිටිය, පිළියන්දල, ලේවැල්ල හා කුණ්ඩසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්  බවත් සැකකාර චීවරධාරියා ගනේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින්නෙකු බවද අනාවරණය වී තිබේ.  සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති අතර, එම ඉපැරණි භාණ්ඩ සොරකම් කළ භාණ්ඩද එසේත් නොමැති නම් එම භාණ්ඩ ඔවුන්ට ලද ආකාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරමින් පවති.


-ෂෙන් සෙනෙවිරත්න-