ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් අසාදනය වී ඇති බව දැනුම්දී ඇත්තේ ඔහුට පීසීආර් පරීක්ෂණය සිදුකර දින 8ට පසුව බව වාර්තාවී තිබේ.

පසුගිය ජනවාරි 16 වැනිදා කඩුගන්නාව දිසා රෝහලේ දී PCR පරීක්ෂණයකට ස්වෙච්ඡාවෙන් ඊට ඉදිරිපත්වුවත් මන්ත්‍රීවරයාට කිසිදු අසනීප තත්ත්වයක් හෝ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබී නොමැත.
අනතුරුව දින කිහිපයක් සිය නිවසේ රැඳී සිටි මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොලැබීම හේතුවෙන් අදාළ අංශවලින් විමසා ඇති අතර එවිට ඔහුට දැනුම්දී ඇත්තේ PCR වාර්තාව ලැබීමට දින කිහිපයක් ගතවන බවය. PCR පරීක්ෂණයේන් දින 8ට පසු එනම් ඊයේ (24) වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ඇමතූ කඩුගන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දන්වා ඇත්තේ ඔහුට කොවිඩ් වැළඳී ඇතැයි පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවය.මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ වහාම “රැපිඩ් ඇන්ටිජන්” පරීක්ෂණයක් කරගත් නමුත් කොවිඩ් ආසාදිත නොවන බවට එහිදී තහවුරු වී ඇත. නමුත් අවදානමක් ගැන සැකයක් ඇති නිසා යාපා බණ්ඩාර මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් තමාට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් තමා සමග පසුගිය දින කිහිපයේ සමීපව කටයුතු කළ අයට වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
මුලින් පීසීආර් පරීක්ෂණයට පෙනී සිටි වෙලාවේෙ කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් නොතිබූ නිසාත්, ආසාදිතයකු නම්
වහාම දුරකථන ඔස්සේ දැනුම්දෙන බවට ප්‍රකාශ වී තිබූ නිසාත් තමා ඉන්පසු සුපුරුදු රාජකාරී කටයුතුවල නිරත වූ බව මන්ත්‍රීවරයා දන්වා ඇත.
මන්ත්‍රීවරයා ගෙවුණු දින 8 තුළ දින 2ක් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වී ඇති අතර “වැඩ සමග යළි ගමට” ග්‍රාමීය රැස්වීම් ගණනාවකටත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ මාධ්‍ය හමුවලටත්, ස්වර්ණවාහිනී රතු ඉර දේශපාලන වැඩසටහනටත් සහභාගී වී තිබේ.
මන්ත්‍රීවරයා සමග රතුඉර දේශපාලන වැඩසටහනට සහභාගී වී ඇත්තේ හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාය. හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් මේ වනවිට නිරෝදායනයට යොමුව ඇති බව දන්වා ඇත.
 ආසාදිත මන්ත්‍රීවරයා සහභාගි වූ පාර්ලිමේන්තු සැසිවාරවලට අදාළ දිනවල සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තු වේත්‍රදාරියා දන්වා ඇත.