මනාලිය නිවෙසට කැන්දා ආ දිනයේ සවස ඒ සතුට සැමරීමට මහමග යතුරුපැදි රේස් ගොස් යුද හමුදා සෙබළකුට හා ඔහුගේ තරුණ බිරිදට අඩත්තේට්ටම කරමින් පහරදුන් බව කියන එම මනාලයා සහ ඔහුගේ මිතුරන් 4 දෙනකු ඉකුත් 12 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ  යුදහමුදා සෙබළා බරපතළ තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කළ බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය. 
යතුරුපැදි 03ක නැගී තරුණයන් පස් දෙනකු උහන පොලිස් වසමට අයත් මහකණ්ඩිය ප්‍රදේශයේ මාර්ගයක කෑකෝගසමින් තනි රෝදයෙන් අධික වේගයෙන් එම යතුරුපැදි පදවමින් රේස් ගොස් ඇති බව කියති.‍

යුද හමුදා සෙබළාත් ඔහුගේ තරුණ බිරිඳත් යතුරුපැදියකින් එම මාර්ගයේ ගමන් කරමින් සිටිය දී රේස් පදිමින් සිටි තරුණයින් මාර්ගය අවහිර කර ඔවුන් දෙදෙනා නතර කරගෙන ඇතැයි පොලිසිය කියයි.  සෙබළාගේ තරුණ බිරිඳට උසුළු විසුළු කරමින් ඇයගේ ජංගම දුරකතන අංකය එක් තරුණයකු ඉල්ලා ඇති අතර සෙබළ සැමියා ඊට විරෝධය පළකර සිටිය දී රේස් පදිමින් සිටි තරුණයන් පස්දෙනා සෙබළාට පහරදීමට පටන්ගෙන තිබෙන බව එම පොලිස් නිලධාරියා කීය.  සැමියා බේරා ගැනීමට බිරිඳ ඉදිරිපත් වූ අවස්ථාවේ ඇයට ද පහර කිහිපයක් එල්ලකර තරුණයන් පස් දෙනා යතුරුපැදිවලින් පලාගොස් ඇත.


පොලිසියට මේ බව හමුදා සෙබළා හා බිරිඳ පැමිණිලි කිරිමෙන් පසු පරික්ෂණ පවත්වා තරුණයෝ පස් දෙනා යතුරු පැදි 03ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.  බරපතළ තුවාල ලබා සිටි යුද හමුදා  සෙබළා සුවසැරිය ගිලන් රථයකින් අම්පාර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.  අත්අඩංගුවටගත් සැකකාර තරුණයන් 05 දෙනාගෙන් එක් තරුණයකු විවාහ වී මනාලිය නිවසට කැඳවාගෙන පැමිණ ඇත.  ඒ සතුට වෙනුවෙන් මිතුරන් හතර දෙනකු සමග මත්පැන් සාදයක් පවත්වා පසුව ඔවුන් විවාහය සැමරීමට යතුරුපැදි රේස් එකක් ගොස් තිබේ.  සැකකාර මනමාලයාගෙන් ප්‍රශ්න කිරිමේ දී මෙම තොරතුරු අනාවරණය විණි යැයි පොලිසිය කියයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -