දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුව සිටි රංජන් සිල්වා මහතා ඝාතනය කිරීම් සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පාතාල නායක එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ඇල්ටෝ ධර්මේ හෙවත් රත්මලානේ ධර්මේ  නමැත්තා ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට දින 02 කට පමණ ඉහතදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට බුද්ධි අංශ ආරංචිමාර්ග කියයි.  මොරටුව අඟුලාන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිටියදී 2018 වසරේ මැයි මස 24 වැනි වෙඩි තබා ඝාතනය කළ රංජන් සිල්වා මහතාගේ එම ඝාතනයෙන් පසුව පොලිසියෙන් බේරීම සඳහා මොහු ඩුබායි රටට  පලා ගොස් ඇති බව බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය. රංජන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ධනංජය සිල්වා මහතාගේ පියාය. 
රංජන් සිල්වා මහතාගේ ඝාතනයෙන් දින 02 කට පසුව මෙම පාතාල නායකයා ඩුබායි රටට පලා ගොස්  ඇති බව මෙම සාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ පොලිස් කණ්ඩායම විසින් එම වකවානුවේම හෙළි කරගෙන තිබිණි.

 ධර්මේ නමැති පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි. හිටපු නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනයට අමතරව තවත් අපරාධ 12 ක් සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටින සැකකරුවකු බවද කියති.  මෙම වසරේ මැයි මාසයේ 20 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට එල්ල වූ මැර ප්‍රහාරය ඩුබායි රටේ සිට මෙහෙයවා ඇත්තේ ද ධර්මේ නමැත්තා විසින් බවට තොරතුරු පොලිසිය හෙළි කරගෙන තිබිණි.  ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයට ප්‍රහාර එල්ල කළ බව කියන ධර්මේ නමැත්තාගේ ගෝල බාලයන් කණ්ඩායමක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් එම වකවානුවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.


මෙම පාතාල නායකයා ඩුබායි රටේ සැගවී සිටින තවත් පාතාල නායකයකු ලෙස සැලකෙන සිංහාරගේ අමල් සිල්වා නමැත්තාගේ ද හිතවතකු බව බුද්ධි අංශ සඳහන් කරයි.   පාතාල නායකයකු ලෙස සැලකෙන අගුලානේ ධර්මේ නමැත්තා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන්  කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන ධර්මසිරි නැමැත්තා එරට ආධිකරණ නඩුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර ඇති බවය.උදර්පන නීතිය යටතේ මෙම පුද්ගලයා මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-