COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සිංගප්පූරුව මගින් ඇණවුම් කර ඇති Pfizer-BioNTech එන්නතේ ප්‍රථම තොගය පෙරේදා රාත්‍රියේදී එරට වෙත ලැබුණු බව බලධාරීන් පවසයි.
ඒ අනුව මෙම එන්නත හිමි වූ පළමු වැනි ආසියාතික රට බවටද සිංගප්පූරුව පත්ව තිබේ.

සිංගප්පුරු ගුවන් සේවයට අයත් බොයිං 747-400 මාදිලියේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් මෙම එන්නත් තොගය එරටට රැගෙන විත් තිබේ.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිට මෙම එන්නත් තොගය සිංගප්පුරුවේ චැන්හි ගුවන් තොටුපොළ වෙත මෙලෙස ප්‍රවාහනය කර තිබේ. මෙහිදී එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සිංගප්පූරු ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සිදු කර තිබේ.

ගුවන් යානයෙන් ගොඩබැසීමෙන් අනතුරුව මෙම එන්නත් තොගය ගබඩා කර තැබෙන ශීතාගාර පහසුකම් සහිත පරිශ්‍ර වෙත රැගෙන යාම සිදුවතිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති සිංගප්පූරු ප්‍රවාහන අමාත්‍යවරයා සිංගප්පුරුව මෙම COVID-19 එන්නත් ප්‍රවාහනයේ කලාපීය මධ්‍යස්ථානය බවට පත්වීමට උනන්දුවෙන් පසුවන බවත් පවසා ඇත. ඒ සඳහා වන හැකියාව මෙන්ම පහසුකම්ද සිංගප්පූරුවට ඇතැයි ඔහු සඳහන් කර තිබේ.