බේරුවල, චීනකොටුව ප්‍රදේශයේ නිවසක මියගිය 73 හැවිරිදි කාන්තාවන්ගේ දේහය බලධාරින්ට නොදන්වා මිහිදන් කිරිමේ සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා එම නිවසට යෑමට නොහැකි බව බේරුවල පොලිසිය කළුතර වැඩබලන මහේස්ත්‍රාත් ශමලී යාපා මහත්මිය ඉදිරියේ පෙරේදා (21) කරුණු වාර්තා කර ඇත. එම නිවස ඉකුත් 19 වැනිදා සිට නිරෝධායනයට ලක්කළ නිවෙසක් ලෙස නම්කර ඇති බවත් එම නිවසේ 15 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බවත්  බේරුවල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව එම නිවසට ගොස් එහි සිටින අයගෙන් මියගිය කාන්තාව පිළිබඳව ප්‍රකාශ සටහන් කරගත නොහැකි බවත් එසේ ප්‍රකාශ ලබා ගැනීමට පොලිස් නිලධාරින් මෙන්ම සෞඛ්‍ය බලධාරින් ද එම ස්ථානයට යොමුකිරීම අවදානම් තත්වයක් බවත් පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කර ඇත.



ඉකුත් 16 වැනිදා සවස 4.00 ට පමණ මෙම කාන්තාව නිවසේදීම මියගොස් ඇති අතර පසුව එදින රාත්‍රී 8.00 ට පමණ එම දේහය භූමදාන කර ඇති බවට ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.  පසුව ඉකුත් 17 වැනිදා එම නිවසේ සිටි 15  දෙනකුගෙන් සිවුදෙනකු පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කර ඇති බවත් එහිදී දෙදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනුණු බවත් පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කර ඇත.  


ඉකුත් 16 වන දින සව 4 ට පමණ මෙම කාන්තාව මියගොස් ඇති බවත් තමාට හෝ සෞඛ්‍ය අංශවලට  නොදන්වා එදිනම රාත්‍රී 8 ට පමණ හොර රහසේ මිහිදන් කර ඇති බවත් කියමින් බේරුවල අංක 751 අක්කරගොඩ ග්‍රාම නිලධාරි වික්‍රමාරච්චිගේ දොන් මහේෂ් ඉන්ද්‍රජිත් මහතා ඉකුත් 20 වන දින බේරුවල  පොලිසියට කර තිබූ පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කර තිබිණි.  බේරුවල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් මෙම නිවසට ගොස් ප්‍රශ්න කරන විට ආච්චිට උණ හැදිලා හිටියා. ආච්චි මළා. වැළලුවා.' යැයි කුඩා ළමයකු ප්‍රකාශ කර ඇති බව ද පොලිසිය  අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

-නිමන්ති රණසිංහ-