මහර බන්ධනාගාර ගැටුමේදී රැඳවූවන් සිවුදෙනකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලින් බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි විද්වත් කමිටුව වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාහුල වෙත ඊයේ (16) දැනුම් දී තිබේ. ගැටුම සිදුවන අවස්ථාවේ අවි අත දරා සිටියේ ආරක්ෂක අංශයි.

විද්වත් කමිටුව මගින් මියගිය රැඳවූවන් සිවුදෙනෙකුගේ පමණක් අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබෙන අතර අනෙක් රැඳවූවන් 7 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවන් ඉදිරියේදී අධිකරණයට භාරදීමට නියමිතය. ඔවුන්ද මියගිය ආකාරය එහිදී හෙලිවනු ඇත.

ඉකුත් නොවැම්බර් 29 සහ 30 යන දිනවල මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල හේතුවෙන් රැඳවූවන් 11 දෙනකු මියගොස් තිබූ අතර මියගිය රැඳවූවන් අතරින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවටද හඳුනාගෙන තිබුණි.
මේ අතර මහර බන්ධනාගාරයේ පසුගිය දා සිදුවූ  ගැටුමෙන් මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර කා මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය (03) වනදා පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ කරුණු දක්වමින් කියා සිටියේ ය.
“බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.“ ඔහු ප්‍රකාශ කර තිබුණි.