ජපානය තුළ COVID-19 ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වන පසුබිමක් තුළ එරට අගමැති යොෂිහිඩේ සුගා ඒ කිසිවක් මායිම් නොකරමින් වසර අවසානයේ සංවිධානය වෙන විවිධ සාද වෙත සහභාගි වෙමින් සිටින බවට දැඩි චෝදනා එල්ල වී තිබේ. ඔහුගේ වත්මන් රජයේම සන්ධානගත පක්ෂවල නියෝජිතයන්ගෙන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් හරහාද මෙලෙස චෝදනා එල්ල කෙරී ඇත. 




විශේෂයෙන්ම රට තුළ COVID-19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එවැනි සාද සඳහා සහභාගි නොවන ලෙසට රජය දැනුම්දීමක් සිදුකර තිබියදී අගමැතිවරයා මෙවැනි අවස්ථා වෙත සහභාගිවීම පිළිගත නොහැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. අගමැතිවරයා විසින්ම නිකුත්කර ඇති නිවේදනයකට අනුව බොහෝ පිරිසක් එකට එකතු වන ආහාර භුක්ති විඳීමේ අවස්ථා සංවිධානය කිරීම පිළිබඳවද මීට පෙර අනතුරු ඇඟවීම් ලබාදී තිබුණි.

මේ අතර එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදුන් රජයේ ප්‍රකාශක කට්සුනොබු කාටෝ, අගමැතිවරයා මෙම සෑම උත්සවයක් වෙතම සහභාගි වන්නේ පූර්ව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් බවද පවසා තිබේ. එහිදී මෙවැනි හමුවිම් වෙත සම්බන්ධවීමේ අවස්ථාව තමන්ට ආසාදනයවීම් පාලනය කිරීම් යන කටයුතු සමසමව ආරක්ෂා කරමින් මෙම කටයුතු සිදුකෙරෙන බව ඔහු පවසා ඇත.