දකුණු අප්‍රිකාව සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයන් හයදෙනෙකු ආබාධයන්ට ලක්වීම තමන් කිසිදිනෙකු මුහුණ නොදුන් තත්වයක් බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පැවසීය.
 
කෙසේ වෙතත් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳ කාර්යභාරයක් ඉටු කළ බවද හෙතෙම මෙහිදී පැවසීය. තරගයෙන් අනතුරුව පසුගියදා (29දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

“මම කවදාවත් මෙවැනි තත්ත්වයකට මුහුණ දීලා නෑ, සමහර විට කිසිවෙකුටත් නෑ. එක් තරගයකදී පන්දු යවන්නන් තිදෙනෙකු අහිමි වීම වගේ තත්වයක්. අපි සමබර කණ්ඩායමක් සමගින් දකුණු අප්‍රිකානුවන්ට පන්දු යැවීම ආරම්භ කළා. පන්දු යවන්නෝ ඉන්නවා නම් මට ඔවුන්ව විවිධාකාරයෙන් තරගයට යොදා ගන්න පුළුවන්. නමුත් පළමු ඉනිමේදීම අපිට එය අහිමි වුණා. අපිට තරගයේ වැඩි වාසි ගන්න පුළුවන් තැනක පවා සිටියා. කොහොම වුවත් දකුණු අප්‍රිකාවේ අපි සිදු කළ අවසන් තරග සංචාරයේදී ලබාගත් ජයග්‍රහණයට සාපේක්ෂව විශාල පසු බැසීමක්. තරගයේදී ඉනිමකින් පරාජයට පත්වීමට කියන්නේ විශාල බලාපොරොත්තු සුන්වීමක්.


අපි දකුණු අප්‍රිකාවේදී ඔවුන්ට එරෙහිව ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංබව පළමු ඉනිමේදී රැස් කළා. අපි දන්නවා මේ වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තාම අනෙක් කණ්ඩායමට ලකුණු රැස් කර ගැනීමට තරමක පීඩනයක් එල්ල වෙනවා. අපේ පන්දු යවන්නන් හොඳ ශාරීරික යෝග්‍යතාවෙන් හිටියා නම් අපිට මොකක් හරි කරන්න තිබ්බා. කොහොම වුණත් අපේ පිතිකරුවන් තරගයේදී හොඳ කාර්යභාරයක් ඉටු කළා.” යැයි පැවසීය.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම හේතුවෙන් සිදුවූ මානසික බිඳ වැටීම දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු  180කට දැවී යාමට හේතුවක් වූ බවද දිමුත් මෙහිදී පැවසීය.

"අපි ලකුණු 200ක් පසුපසින් සිටියේ. එය දෙවැනි ඉනිමේදී ඉක්මවා ගියත්, ජයග්‍රහණය කරා යන්න ප්‍රමාණවත් තරම් පන්දු යවන්නෝ අපිට හිටියේ නෑ. කඩුලු දවා ගන්න පුළුවන් මට්ටමේ පන්දු යවන්නෝ දෙන්නෙක් අපිට හිටියා. ඔවුන්ගේ කාර්යභාරය අවසන් වුණාම අපිට පන්දු යවන්න ඉන්නේ මමයි, කුසල් මෙන්ඩිස් හා දසුන් ශානක පමණයි.

අපේ කණ්ඩායමේ කඩුලු රකින්නන් තිදෙනෙකු ඉන්නවා. ඒ නිසා අපිට අතිරේක පන්දු යවන්නන් විශාල ප්‍රමාණයක් නෑ. මම හිතන්නේ ඒක අපේ දෙවැනි ඉනිමේදී පිතිකරුවන්ගේ මනසෙහි තිබිය යුතුයි. මොකද අපි කොතරම් හොඳින් ඉලක්කයක් සකස් කළත් එය පහසු වෙන්නේ නෑ. ඒ වගේම පිතිකරුවන්ට ලකුණක් සඳහා දුවන්න හැකියාවක් නැත්නම් අපිට වෙන්නේ හතරේ හෝ හයේ පහරකින් ලකුණු රැස් කරගන්න පමණයි. මේ කඩුල්ලේ දින දෙකහමාරක් රැදී සිටීම කියන්නේ දුෂ්කර දෙයක්.
ඒ වගේම පන්දුවේ ඉපිලීමත් අපිට දුෂ්කර වුණා.” යැයි ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙහිදී ආබාධයට ලක්වූ ක්‍රීඩකයන් පිළිබඳව අදහස් දැක්වූ දිමුත්,

"අපි හිතනවා සුරංග ලක්මාල්ගේ ශාරීරික යෝග්‍යතාව නිවැරදි මට්ටමට එයි කියලා. නමුත් ඒ සඳහා තව දවස් කිහිපයක් යනවා. ඒ වගේම  චන්දිමාල්ගේ ආබාධයද නිරීක්ෂණය කළ යුතුයි. ඒවගේම ධනංජයද සිල්වා වෙනුවට අපි ක්‍රීඩකයෙකු ආදේශ කළ යුතුයි.” යනුවෙන් පැවසීය.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි 03 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී ආරම්භ වීමට නියමිතය.

"ක්‍රීඩා පිටියෙන් පිටතදී මෙවැනි තත්වයක් හසුරුවා ගැනීම පහසු වෙන්නේ නෑ. නායකයෙකු ලෙසින් මගේ හිස කෙලින් තබා ක්‍රීඩකයන් සමගින් කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන කටයුතු කළ යුතුයි. අපි තරගාවලියට ආවේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ඒ නිසා මේ වගේ සිද්ධිවලීන් ගොඩක් මානසිකව වැටෙනවා. කොහොම වුණත් අපි ධනාත්මක මානසික තත්වයකින් ඉන්නේ තරගාවලිය තාමත් අවසන් නෑ. දෙවැනි තරගයේදී ආදේශක ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි මට විශ්වාසයි." යැයි හෙතෙම මෙහිදී අවසන් වශයෙන් පැවසිය.


-ඕෂිත වරකපිටිය -