කොරෝනා මර්දනය කරන බව කියන පැණියක් නිසා පසුගිය දිනවල මාධ්‍ය තුළ ප්‍රකටවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඊයේ දිනයේ මහනුවර දළදා මාළිගාවේදී දියවඩන නිලමේගේද ආශිර්වාද ඇතිව දන්ත ධාතූන් වහන්සේ සමීපයටම ගොස් සිය ඖෂධය පූජා කළ අතර අද (16) දිනයේ 
අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත ඖෂධය පූජා කිරීමට ගොස් තිබුණේය. නමුත් ඔහු අපේක්ෂා කළ පරිදි ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත එම පිළිගැන්වීම කළ නොහැකි විය.

අද දිනයේ අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ඔහු බලාපොරොත්තු වූයේ විශේෂ පුද්ගලයින්ට පමණක් අවසරය හිමිවන ජය ශ්‍රී මහ බෝධියේ ඉහළ මළුවට ගොස් ඖෂධය පිළිගැන්වීමටය.

නමුත් විහාරාධිපති හිමියන් වෙනුවෙන් පැමිණි නියෝජිත හිමිනම දන්වා සිටියේ පහළ මළුවට පමණක් යාමට අවසර ලබාදී ඇති බවයි. ඒ සඳහා වෙදමහතාට සහ නියෝජිතයෙකුට එක්විය හැකි බවද දන්වා තිබුණි. එයට මුලින් එකඟව පහළ මළුවට ගොස් ඖෂධය පූජා කළ නමුත් එම තීරණයට නොකැමැත්තෙන් යුතුව කෝපයෙන් මෙන් නැවතත් අටමස්ථානාධිපති හිමියන් වෙත පිරිස සමග දිව ආ ධම්මික බණ්ඩාර නැවත හිමියන් හමුවීමට අවශ්‍ය බව දන්වා හිමියන් වැඩම කළ පසු හිමියන්ට කෑගැසුවේය.

තමා ලෝකය වෙනුවෙන් ඖෂධයක් තැනූ නමුත් එය ජය ශ්‍රී මහ බෝසමිඳුන්ට පිළිගන්වන්නට අවසර නොදීම ගැන ඔහු දොස් කීවේය.
ඔබ වහන්සේ දන්නවා මං කාලී කියල.. මං කාලී ඔබ වහන්සේගේ අම්මා..ඇයි මගේ ඖෂධය පැත්තකට දැම්මේ.. ආදී ලෙස  ඔහු අටමස්ථාන හිමියන්ගේ කුටිය ගිගුම් දෙන ලෙස කෑ ගැසුවේය.